යහපාලන රජයේ රාජ්‍ය ආයතන පාඩුව කෝටි 11000 - හඳුන්නෙත්ති


රාජ්‍ය ආයතන පහළොවක පසුගිය වසර තුනක පමණ කාලසීමාවකදී රුපියල් කෝටි එකොළොස් දහසක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව ඉදිරිපත් කළ එහි
සභාපති පත් කළ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී ඊයේ (8දා) ප්‍රකාශ කළේය.

ආයතන පහළොවක් සම්බන්ධයෙන් 2016 මැයි 1 වැනිදා සිට 2016 අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ පොදු ව්‍යාපාර කාරක සභාව සිදුකළ විමර්ශනවලට අදාළ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව මන්ත්‍රිවරයා ඊයේ සභාගත කළේය. සභාගත කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 37,000ක්ද රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව රුපියල් මිලියන 2,918ක්ද පාඩු ලබා ඇතැයි හෙතෙම පැවැසීය.

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස), මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මඟනැඟුම ආයතන හතර, කුරුණෑගල වැවිලි සමාගම සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යන රාජ්‍ය ආයතන පහළොව කාරක සභාව විසින් විමර්ශන කරන ලද බවත් වාර්තාවේ සඳහන්ය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

මේ ආයතනවලින් පාඩු ලබනවා කියනවාට වඩා නාස්තිකාර, අනාර්ථික, ආර්ථික වශයෙන් වැදගත් හා අවැදගත් වන විශාල ව්‍යාපෘති ගණනාවක් මේ ආයතන හරහා ක්‍රියාත්මක වී තිබෙනවා.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයට අයිතිකාරයෙක් නැති තත්ත්වයක් අද ඇති වී තිබෙනවා. වරාය අධිකාරිය රුපියල් බිලියන 5.3ක් ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද කියන ප්‍රශ්නය තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නොවන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 57,000ක පමණ අනාර්ථික කටයුතු සිදුව තිබෙනවා. නෙලුම් පොකුණට අද ඇති වී තිබෙන ඉරණම කුමක්ද? ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව රුපියල් මිලියන 2,918ක්ද හම්බන්තොට වරායේ පාඩුව රුපියල් මිලියන 37,000ක්ද වෙනවා. 'කෝප් කමිටුව' විමර්ශනය කරන ලද මේ සියලුම ආයතනවල පාඩුව රුපියල් කෝටි 11,000ක් පමණ වෙනවා යැයිද හෙතෙම කීවේය.

(දයා පෙරේරා,ජේ.ටී. ද සිල්වා)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment