අධිකරණ නියෝග නොතැකූ සරසවි සිසුන් 21 අත්අඩංගුවට (VIDEO)

අධිකරණ නියෝග නොතැකූ සරසවි සිසුන් 21 අත්අඩංගුවට (VIDEO)

අධිකරණ නියෝග නොතකා මහජන පීඩාවක්‌ වන පරිදි හා මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බව කියමින් වෛද්‍ය විද්‍යාල හා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ ක්‍රියාකාරීන් 21 දෙනකු පොලිසිය විසින් ඊයේ (02) පස්‌වරුව වන විට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් සිසුහු අතර සිසුවියෝ දෙදෙනෙක්‌ ද වෙති.

මහජනතාවට පීඩාවක්‌ වන පරිදි හා මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණ නොකරන ලෙසට අධිකරණය විසින් කරන ලද නියත ආඥ නියෝග නොතකා උද්ඝෝෂණයේ යෙදුණ ඒකාබද්ධ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී බලමණ්‌ඩලයේ සාමාජිකයන්ට හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පොලිස්‌ කැරලි මර්දන ඒකක විසින් ඊයේ අධි පීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ද එල්ල කළේය.

කොළඹ සෙරමික්‌ හන්දිය අසල යොදා තිබූ මාර්ග බාධක පෙරලා දමමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට හා අරලියගහ මන්දිරය දෙසට යැමට උත්සාහ කළ උද්ඝෝෂකයන් දෙවැනි මාර්ග බාධකය බිඳ දැමීමට උත්සාහ දැරීමේදී එම ප්‍රහාර එල්ල කිරීමට කැරලි මර්දන ඒකකය පියවර ගෙන තිබිණි. එලෙස ප්‍රහාර එල්ල කර විසුරුවා හරින ලද උද්ඝෝෂකයෝ කොටුව දුම්රිය ස්‌ථානය අසලට පැමිණ විරෝධතාවයක නිරත වූහ.

අධිකරණය විසින් නිකුත් කළ එම නියෝග පොලිස්‌ නිලධාරීන් විසින් බොරැල්ල ජාතික රෝහල ඇතුළු ස්‌ථාන කිහිපයකදීම ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් උද්ඝෝෂකයන් වෙත දැනුම් දීමට පියවර ගෙන තිබිණි.

එකී උද්ඝෝෂණ ව්‍යාපාර නිසා පාසල් සිසුන් කාර්යාල සේවකයින් හා කොළඹ ජාතික රෝහලට විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට දැඩි පීඩා සිදුවිය හැකි බව පෙන්වා දෙමින් බොරැල්ල පොලිසිය කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා මාර්ගය අවහිර නොකරන ලෙසට හා මහජනතාවට පීඩාවක්‌ වන පරිදි උද්ඝෝෂණය නොකරන ලෙසට නියත ආඥවක්‌ ඊයේ පෙරවරුවේ නිකුත් කළේය. 

මෙම 4 වැනිදා පැවැත්වෙන 69 වන ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවයේ පෙරහුරු පොලිසිය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේත් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසකගේත් සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන බැවින් එකී කටයුතුවලට බාධාවන පරිදි හෝ අවහිර වන පරිදි උද්ඝෝෂණයේ නොයෙදෙන ලෙසට කොටුව වැඩ ආවරණ මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්‌සි මහතාද නියෝගයක්‌ නිකුත් කර තිබිණි. 

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල රත්වත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ වැඩබලන සභාපතිවරයා ඇතුළු 28 දෙනකුට අධිකරණ මගින් එලෙස නියෝග නිකුත් කොට තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment