නයිජීරියානුවන් සමග හවුල්වී ෆේස්බුක් සුන්දර කතුන් රැවටූ ලාංකික තරුණයින් හසුවේ


රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ එවන බවට පොරොන්දු වී ෆේස්බුක් හරහා මෙරට කාත්නාවන් රවටා ලක්ෂ 6ක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ මෙරට තොරතුරු තාක්ෂණ විද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු රුපියල් 15000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා(29දා) නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය විසින්
ඔහුට විදේශ ගත වීමද තහනම් කරනු ලැබූ අතර එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වංචා විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද සැකකරුට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළේ වංචා කිරීමේ සිද්ධියට නයිජීරියන් ජාතිකයන් ඇතුළු තවත් බොහෝ පිරිසක් සම්බන්ධ බවට වංචා විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම හේතුකොටගෙනය.

එලෙස මුදාහරිනු ලැබුවේ අනුරාධ සංජීව සෙනරත් නමැති තොරතුරු තාක්ෂණය හදාරනු ලබන ශිෂ්‍යයෙකි.
එම සිද්ධියට තොරතුරු තාක්ෂණය හදාරනු ලබන මහේල බණ්ඩාර, එම්. නවෝද්‍ය නමැති ඔහුගේ මිතුරන් දෙදෙනකුද සම්බන්ධ වී ඇති අතර පසුගිය නඩු දිනයකදී මහෙස්ත්‍රාත්වරිය විසින් ඔවුන්ට ඇප ලබා දෙනු ලැබිණි.

නයිජීරියානු ජාතිකයකු විසින් ෆේස්බුක් හරහා පැමිණිලිකාර කාන්තාව සමඟ මිතුරු වී රන් භාණ්ඩ ඇතුළු වටිනා තෑගි ලබාදෙන බව පවසා වංචාව සිදුකර ඇති අතර කාන්තාව ලබාදෙනු ලබන මුදල් බැර කිරීම සඳහා තවත් නයිජීරියානු ජාතිකයකුගේ මාර්ගයෙන් මහේල බණ්ඩාර, එච්. නවෝද්‍ය, අනුරාධ සංජීව සෙනරත් යන ශිෂ්‍යයන්ගේ බැංකු ගිණුම් ලබාගෙන ඇත.

එම ගිණුම් ලබාදීම සහ කාන්තාව විසින් තැන්පත් කරන ලද මුදල් තමන්ගේ ගිණුම්වල තබා ගැනීම මත වංචා විමර්ශන අංශය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
පැමිණිලිකාරිය මොරිස් සමරතුංග නමැති මෙරට පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියකි.
ලබන ජුනි 28දා නඩුව යළි කැඳවීමට නියමිතයි.

අමිල අබේරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment