ෆෝන් “පාස් වර්ඩ්” සැකයක් නිසා සැමියාගේ පිහි පහරින් බිරිය මරුට


ෆෝන් “පාස් වර්ඩ්” සැකයක් නිසා 
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට


සැකය ජීවිත අවුල් කළ අවස්ථා බොහෝය. සැකයේ බීජය සිත තුළ තැන්පත් වීමෙන් තම දිවියට මෙන්ම අන්‍යයන්ගේ ජීවිත කෙරෙහිද බොහෝ බලපෑම් ඇති කරයි. එවැනි සැකයේ බීජයක් තුළින් උපන් ක්ෂණික කෝපය පසුගිය දිනක පුපුරා ගියේ ජීවිතයක් අහිමි කරමිනි.
දුක සැප සම සිතින් දරාගෙන එකට විසීමට පොරොන්දු වෙමින් කුල ගෙට ආ රේණුකා මල්කාන්ති තම සහකරුගේ හදිසි කෝපයට බඳුන්ව
පිහි ප්‍රහාරයට ලක්ව ජීවිතයෙන් සමුගත්තේ පසුගිය 23දා සන්ධ්‍යා කාලයේය.
තම ජංගම දුරකතනයට මුර පදයක් (password) යොදා තිබීම පිළිබඳව සැමියා විමසූ අවස්ථාවේ ඊට ඇය දැක්වූ ප්‍රතිචාරය නොරිස්සූ සැමියා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් රේණුකා මල්කාන්ති නමැති 39 හැවිරිදි එක් දරු මවකගේ මරණය සිදුව ඇත.

අගලවත්ත දාපිළිගොඩ පදිංචිව සිටි දේව වරමින් ශාස්ත්‍ර කීම වෘත්තිය කරගත් රේණුකා මල්කාන්ති තම සැමියා හා 12 හැවිරිදි දියණිය සමඟ සතුටින් දිවි ගෙවමින් සිටියාය. කිසිදු ආර්ථික අපහසුතාවක් හෝ ගැටලුවක් නොමැතිව තම සැමියා වූ අචල ප්‍රියන්තගේද වෘත්තීය ආදායමෙන් පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන ගියාය. අචල ප්‍රියන්ත බේකරි කර්මාන්තයේ නියැළුණු අතර දියණිය පාසල් වියේ පසු වූවාය.

සතුට සොම්නස පිරී ඉතිරී පැවැති නිවෙසේ සැම ප්‍රීතියෙන් කල් ගෙවූ කල හදිස්සියේ ඇතිවූ ව්‍යසනය පිළිබඳ ඥාතීන් පවා සිටින්නේ පුදුමයට පත්වය.
අසල්වාසී නිවෙසක පැවැති අවමංගල්‍යයකට සහභාගි වීමට සූදානම් වෙමින් සිටි සැමියාගේ කටයුතුවල යෙදී සිටියදී තම සැමියා ඇයගේ ජංගම දුරකතනය අතට ගත්තේ යම් ඇමතුමක් ලබා ගැනීමටය. එහෙත් එම දුරකතනයට මුර පදයක් යොදා තිබීම පිළිබඳව නොරිස්සූ ඔහු ඒ පිළිබඳව ඇයගෙන් විමසා තිබේ.
එහෙත් ක්ෂණික කෝපය මත සිදුකළ මෙම අපරාධය පිළිබඳව පසුතැවීම ඇතිවන විට තම ආදරණීය බිරිය මෙලොව හැරගොස් ඇති බව ඔහුට පසක් විය. ඒ පිළිබඳව ඇතිවූ සිත්තැවුල සංසිඳුවා ගැනීමට ඔහුගේ සැනසිල්ලට තිබුණේ වල් නාශක බෝතලයකිනි. ඔහු දිවි තොර කර ගැනීමට දැරූ උත්සාහය ඥාතීන් ඇතුළු අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකුණද මෙතෙක් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව රෝහල්ගතව සිටී.

(තොරතුරු - ප්‍රභාන් බුලත්සිංහල)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment