මිලියන 9 ක තැන්පතු සමග මහනුවර DN Company හිමිකරු අතුරුදහන්


මිලියන 9 ක තැන්පතු සමග
මහනුවර DN Company හිමිකරු අතුරුදහන්
පරීක්ෂණ සීඅයිඩී යට

මහනුවර, කොටුගොඩැල්ලවීදියේ වසර 12 ක් පමණ කාලයක් පවත්වාගෙන ගිය DN කොම්පැනි නමැති මූල්‍ය ආයතනය ජනතාවගේ මුදල් මිලියන ගණනාවක් ලබාගැනීමෙන් පසු එහි හිමිකරු සැඟවී සිටින බවට වාර්තාවී තිබේ.
විශාල සේවක පිරිසක්ද සමග ව්‍යාපාර ගණනාවක එකතුවක් ලෙස මෙම ආයතනය මහනුවර හා කටුගස්තොට අවට ශාඛා ස්ථාන 4 ක් සමග පවත්වාගෙන ගොස් ඇත්තේ දිලුක්ෂ වනිගරත්න නමැති
අයෙකි.
පුද්ගලික ණය,මයික්‍රො ක්‍රෙඩිට්,ඉඩම් හා නිවාස ගැනීම විකිණීම,ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු හා මංගල රථ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් ලබාදී තිබුණ මෙම ආයතනය දිගු කලක් තිස්සේ ජනතාවට සැකයක් ඇති නොවන ආකාරයට කටයුතු කර තිබේ. කිසිවෙකුට ණය මුදලක් අවශ්‍ය වූ විට පොලියට

‍ණය මුදල් ලබාදීම ඔවුන් සිදු කර තිබුණ අතර ඒ නිසාද වඩාත් ප්‍රකට වී තිබුණි. කෙසේ වෙතත් මීට වසර කිහිපයක පෙර සිට ඉහළ පොලියට තැන්පතු භාරගැනීමද අරඹා තිබුණ මෙම ආයතනය පසුගිය මාස 6 ක පමණ කාලයේ තැන්පතු හිමියන්ට අදාළ පොලී ගෙවීම පමා කර තිබේ.
පාරිභෝගිකයින් ඒ ගැන විමසීමේදී මූල්‍ය ප්‍රශ්න ඇති බවත් ඒවා ඉක්මණින් විසඳෙන බවත් පැවසීම නිසා කිසිවෙකු ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නැත.
නමුත් ඉකුත් 29 වැනිදා එම ආයතනයටද වසා දමා දිලුක්ෂ වනිගරත්න නමැති හිමිකරුද අතුරුදන්ව සිටීම නිසා මෙහි ආයෝජනයන් සිදුකළ අය වංචාවකට හසුවී ඇති බව සැකහැර තේරුම් ගෙන ඇති අතර ඒ ගැන පොලිසියට පැමිණිලි කරන්නටද ගොස් තිබේ.

වසර දෙකකට අධික කාලයක සිට ව්‍යාජ ලෙස මෙම මූල්‍ය තැන්පතු ලබාගෙන තිබුණ බවත් මිලියන 9 ක පමණ තැන්පතු අතුරුදන්ව ඇති බවත් තොරතුරු අනාවරණයවී තිබේ.

මේ වන විට මෙලෙස වංචාවට හසුවූ පුද්ගලයන් 200ක් පමණ සිටින බව වාර්තාවෙයි.රජයේ ලියාපදිංචිය නැති මූල්‍ය ආයතනවල තැන්පතු නොකරන්නැයි නිරන්තරයෙන්ම මහ බැංකුව දැනුම්දීම් සිදු කළද 200 කට අධික පිරිසක් ඒ ගැන සැලකිල්ලක් නොදක්වා මෙම තැන්පතු සිදු කර තිබේ.

ප්‍රධාන සැකකරු පැන ගියද ආයතනයේ ප්‍රධාන මූල්‍ය කළමනාකාරවරිය ලෙස සිටි කාන්තාවක් තැන්පත්කරුවන් විසින් අල්ලා 5දා පොලිසියට භාරදී තිබේ. ප්‍රධාන සැකකරු  අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර ඔහු විදේශගතවී සිටීද යන්න ගැනද සැකයක් මතුව ඇත. කොළඹ අපරාධ විමර්ශන ඒකකයට වැඩිදුර පරීක්ෂණය භාරදී තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment