අවුරුදු බඩු ගණන් උස්සලාදැයි බලන්න රවී සුපර් මාර්කට් වලට කඩා පැනලා


අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත වූ අතර ඇතැම් වෙළෙඳසල්වල ටින්මාළු, හාල් මැස්සන් සහ කිරිපිටි මිල ගණන්වල විෂමතා ඇති බවට අනාවරණ වූ නිසා පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි කරන ලදි.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ කියා ඇත.
“අපි පසුගිය දා මේ වගේ ම හදිසි සංචාරයක් කරල කොළඹ තොග වෙළෙඳ පොළේ මිල ගණන් විමසා බැලුව. එහි දී අපි සංසන්දනය කරල බැලුව තොග මිල, සිල්ලර අලෙවිසල්වලට යද්දි කොපමණ විය යුතු ද කියල. අද මේ කළ සංචාරයේදී අපට දැන ගන්නට ලැබුණ සාමාන්‍ය වෙළෙඳ සැල්වල පමණක් නොවෙයි, සුපිරි වෙළෙඳසල්වල පවා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ පවතිනවා.
යම් තැන්වල විෂමතා තිබුණා. අපි ඒ ගැන පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළා.
විශේෂයෙන් කිරිපිටි සහ විශේෂ පාලන මිලක් ක්‍රියාත්මක කර තිබෙන හාල්මැස්සන් වැනි භාණ්ඩවල විෂමතා ඇති බවට හඳුනා ගත්තා. කොහොම වුණත් භාණඩවලින් 80% - 85%ක් විතර ඉතා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි වෙනවා.
උත්සව සමයේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1500ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් හෙට සිට ලබන 18 වැනිදා දක්වා රුපියල් 975ක මිලකට අලෙවි කිරීමට අපි තීරණය කරල තියෙනවා. පරිප්පු, අල, ලොකු ලූණු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාලු, කෑලි මිරිස්, කඩල සහ කිරිපිටි එම භාණ්ඩ මල්ලට ඇතුළත්.
බංකොලොත් දේශපාලනඥයන් චෝදනා කරන පරිදි වෙළෙඳ පොලේ කිසි ම භාණ්ඩ හිගයක් නැති බව දැන් පැහැදිලි වුණා. ඒ නිසා මේ පණිවිඩය රටට කියන එක ජනමාධ්‍යවේදීන් විදියට ඔබේ වගකීමයි. 2015 ජනවාරි අට වෙනිද අපි රට භාර ගන්නකොට හාල් තිබුණෙ රුපියල් 110ට. අද රුපියල් 75කට තියෙද්දි සද්ද කරනවා. එදා පරිප්පු රුපියල් 230 – 240යි. අද සිල්ලර මිල රුපියල් 157යි. එදා රුපියල් 425 කිරි පැකට් එක අද 210 ඉඳල 300 වෙනකං තියෙනවා. ඉන්ධන, ගෑස් මේ සියල්ල අද අඩුවෙලා. එදා රුපියල් 2635ට තිබුණ ගෑස් මිල අද 1350යි. භූමිතෙල් එදා රුපියල් 80යි අද රුපියල් 45යි. එදාට වඩා අද ජීවිතේ සැහැල්ලුභාවයක් ඇවිත් තියෙනවා. මීටත් වඩා මිල අඩු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දීර්ග කාලීන වැඩපිළිවෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන් වීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment