උමා ඔය බලන්න ගිය ඇමති මහින්ද අමරවීරව සමන්තගෙ කට්ටිය කාමරයක සිරකරගෙන

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ගැටලු ගැන සොයාබැලීමට පත් කළ කැබිනට් අනුකමිටුව වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඊයේ (3) හානියට පත් නිවසකට ගිය අවස්ථාවක එහි සිටි වියරු වැටී සිටි පිරිස් ඇමති ඇතුළු පිරිස පැයකට අධික කාලයක් එහි රඳවාගෙන එලියට එන්නට නොදී ප්‍රශ්නය විසඳන ලෙස බලකළ බව වාර්තාවෙයි.
ඊයේ 3 පෙරවරුවේ මෙම අනපේක්ෂිත සිද්ධියට මුහුණ දුන් බව ඇමතිවරයා දන්වා තිබේ. එම අවස්ථාවේ නි. ඇමති අනුරාධ ජයරත්නද එහි සිට ඇත. ඌව පළාත්සභා ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇමතිවරයා ඇතුළු පිරිස එතැනට කැඳවාගොස් දැඩි අවදානම් සහිත නිවසකට ගිය අවස්ථාවේ එයින් පිටතට එන්නට නොදී දොරගුළු ලෑම සිදු කර තිබේ.
අවසන් තීන්දුව දෙන තෙක් එතැනින් එළියට යන්න නොදෙන බව එම සිරකිරීම සිදු කළ පදිංචිකරු දන්වා ඇත. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නද ඔහුට සහාය පළ කර ඇත.
ඇමතිවරයා දන්වා ඇත්තේ තමන් ආවේ වාර්තාවට අවශ්‍ය
කරුණු ගන්නට මිස තීන්දුවක් දෙන්නට නොවන බව කීවත් සිර කළ අය එය පිළිගෙන නැත.
පසුව පොලිසිය හා ඇමති ආරක්ෂකයින්ගේ මැදිහත්වීමෙන් ඇමතිවරයා ඇතුළු පිරිස මුදාගෙන තිබේ.

මෙම සිදුවීම ගැන ඇමතිවරයාගේ නිවේදනයක්ද නිකුත්ව තිබේ. එහි මෙසේ දැක්වේ.

‘මෙම නිරීක්ෂණ චාරිකාව   අතරතුර නිවාස ගණනාවක් හානියට පත්ව තිබෙන උඩපේරුව ගම්මානයට ගොස් එම ජනතාවගේ ගැටළු සොයා බලමින් සිටින අතර අතරතුර එහි පැමිණි සමන්ත විද්‍යාරත්න මහතා මාත් සමග  ඉතා  සුහදශීලිව කතාකරමින් එක් නිවෙසක් වෙත මා කැඳවා ගෙන ගොස් සාකච්ඡා කරමින් සිටින අතරතුර මෙම ව්‍යාපෘතිය නවත්වන්නේ ද යන්න ගැන ප්‍රකාශයක් කරන තුරු පිටවී නොදෙන බව පවසමින් එහි සිටි ඔහුගේ පිරිස සමග මා හට තර්ජනය කරනු ලැබීය.
නමුත් මා එහි ගියේ දැනට එම ප්‍රදේශයේ  ජනතාවගේ අදහස් හා යෝජනා දැනගනිමින් ඒ පිළිබද සම්පුර්ණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ අදහසින්  බව මම ඔහුට කීවෙමි. මෙම නිවෙස අවදානම් කළාපයේ තිබෙන නිවෙසක් බැවින් වහාම ඉන් බැහැරවිය යුතු බවට ගොඩනැගිලි පර්යේෂණ අංශයේ නිලධාරීන් පුන පුනා පැවසුවත්, විද්‍යාරත්න මහතා මගේ පපුවට අත තබා තද කරමින්, ස්ථිර අදහසක් පවසන තෙක්  පිටවී යාමට ඉඩ නොදෙන බවට යළි යළිත් පැවසීය. මෙම අවස්ථාවේ ආරක්ෂක අංශ මැදිහත්ව කටයුතු කිරිම නිසා මා ඇතුළු පිරිස එම නිවෙසින් බැහැරවීමි.
කෙසේ වුවද සමන්ත විද්‍යාරත්න මහතා එම අවස්ථාවේ හැසිරුණු ආකාරය මම කිසිසේත්ම අනුමත නොකරමි.මම කිසිසේත්ම ගැටුම්වලට මැදිහත්වන හෝ ඊට කැමැති අයෙක් නොවේ.  ඔහු එම අවස්ථාවේ 
හැසිරිය යුතුව තිබුනේ ත්‍රස්තවාදියෙක් මෙන් නොව විදග්ධ දේශපාලනඥයෙක් වශයෙනි. නමුත් ඔහුගේ හැසිරිම තුළ කිසිදු සාධු සම්මත චර්යාවක් මම නුදුටිමි. ‘

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment