මේ අතිශය ජනප්‍රිය වූ කතාවකි. රාජපක්ෂ බලයේ තරම පෙන්වූ කතාවකි.
එදා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකරගේ ඇගේ තිබුණේද රාජපක්ෂ උණය. නිකම්ම නිකම් උණ තත්ත්වයක් නොවේ. එය නිව්මෝනියාවටත් එහා ගිය එකකි. ඉතින් උපාලි ගුණසේකර සිතුවේ රාජකීය විද්‍යාලය නම් උපලිය, උපාලි නම් රාජකීය විද්‍යාලයය යනුවෙනි. මේ නිසාම උපාලි ගුණසේකර නම් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තමන්ට රිසි සේ එක එක අඩව් ඇල්ලීය. ගුණසේකර පදයට පාද තියන්නට බොහෝ දෙනා පෙළ ගැසී සිටියද ගුණසේකර පදය පයිසෙකටවත් මායිම් නොකළ අයද රාජකීය විද්‍යාලයේ විය. ගුණසේකරට "හා" නොකීම නිසාම ගුණසේකර උදහසට ඔවුහු නිරන්තරයෙන් ලක් වූහ. දරුවන් පවා හිංසනයට ලක් විය. ආණ්ඩු මාරු නොවන්නට උපාලි ගුණසේකරගේ විගඩම් නිසා රාජකීයේ රාජකීයත්වය ගන්නට දෙයක් නැති වෙන්නට ඉඩ තිබුණි.
රාජකීය විද්‍යාලයේ මධ්‍යම අංශයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනිය, සුමේධා ජයවීර මහත්මිය ගුණසේකර උදහසට දරුණු ලෙස ලක්ව සිටි අයෙකි. ගුණසේකර පදයට අවනත නොවී තම අභිමානය රැක ගැනීමට ඇයට කොන්ද පණ තිබූ නිසා ඇය අවනත කර ගැනීමට උපාලි ගුණසේකර තෝරා ගත් විකල්පය වූයේ ඒ වනවිට (2012 වසර) රාජකීය විද්‍යාලයේම 8 පන්තියේ ඉගෙනුම ලැබූ ඇගේ පුත්‍රයාගෙන් පළිගැනීමය. විද්‍යාලයේ අති දක්ෂ ස්කොෂ් ක්‍රීඩකයෙකු ලෙස නමක් දිනා සිටි නියෝජ්‍ය විදුහල්පතිනියගේ පුත්‍රයාගේ ක්‍රීඩා ජීවිතය පමණක් නොව අධ්‍යාපන කටයුතුද උපාලි සැහැසි ලෙස ඔහුගෙන් උදුරා ගෙන තිබුණි. අඩුම තරමේ පුංචි දරුවෙකුගේ මානසිකත්වය හෝ වටහා ගැනීමට තරම් එකල රාජකීය විද්‍යාලයේ විදුහල්පතිට හැකි නොවීය.
නියෝජ්‍ය විදුහල්පතිනිය හමුවේ විදුහල්පති උපාලි ගුණසේකර පරාජයට පත් වීම නිසා ඔහු වයස අවුරුදු 12 ක් වැනි කුඩා දරුවෙකුගෙන් පළිගත්තේ ඔහුගේ සැබෑ තත්ත්වය හෙළි කරමිනි. ඒ වන විටත් ස්කොෂ් ක්‍රීඩකයෙකු ලෙස වර්ණලාභියෙකුව සිටි එම දරුවා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ස්කොෂ් කණ්ඩායමට තේරී සිටි ලාබාලතම ක්‍රීඩකයාය. එහෙත් නියෝජ්‍ය විදුහල්පතිනිය සමඟ වූ කෝන්තරය නිසා එම ශිෂ්‍යයාට 2012 වසරේ සැප්තැම්බරයේ පැවති සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ස්කොෂ් තරඟාවලියට සහභාගී වීම වළක්වා කණ්ඩායමේ සාමාජිකත්වය අහෝසි කර තිබුණි. මෙම අසාධාරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කර තිබූ අතර අමාත්‍යංශයේ විමර්ශනයෙන් පසු ශිෂ්‍යයාට තරඟාවලියට සහභාගී වීමට අවස්ථාව සලසන මෙන් ලිඛිතව විදුහල්පතිවරයාට දැනුම් දී තිබුණද අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝගයද නොතකා ඔහු දරුවාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදුරා ගෙන තිබුණි. කිසිම හේතුවක් මත අදාළ ශිෂ්‍යයා කණ්ඩායමට ඇතුළු නොකරන බවට උපාලි ගුණසේකර අවධාරණය කර ඇත.
ශිෂ්‍යයා කණ්ඩායමෙන් ඉවත් කිරීමට හේතුව ලෙස උපාලි ගුණසේකර දක්වා තිබුණේ විනය විරෝධී ලෙස හැසිරීමයි. උපාලිට අනුව ශිෂ්‍යයා කර ඇත්තේ තරඟයක් අතරතුර විනිසුරුවරයෙකු හා ආවේගශීලිව කතා කිරීමයි. එහෙත් එවැන්නක් සිදුව නැත. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදුකළ විමර්ශනයේදී ශිෂ්‍යයා පැහැදිලිව ඒ බව පවසා තිබේ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී එම තරඟාවලිය පැවති අතර තරඟාවලිය පැවැත්වෙන දින එම ශිෂ්‍යයා සිය මව වන රාජකීය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනිය සමඟ එම ස්ථානයට ගියද ඉතා සැහැසි ලෙස ශිෂ්‍යයා තරඟාවලියෙන් ඉවත් කිරීමට උපාලි ගුණසේකර කටයුතු කර තිබුණි. ඒ මොහොත වන විටත් කණ්ඩායමේ එම ශිෂ්‍යයාගේ නම සඳහන් වී ඇත. එවකට ස්කොෂ් සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබුණේද උපාලි ගුණසේකරය. එවැනි පසුබිමක් තුළ අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝගද නොතකන පුද්ගලයෙකුගේ හැසිරීම පිළිබඳ පුදුම විය යුතු නැත. මෙම සිදු වීමෙන් පසු ශිෂ්‍යයා දැඩි මානසික කම්පනයකට ලක්ව ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර කිරීමටද සිදුව තිබේ. අධ්‍යාපන ලේකම්ගේ නිර්දේශයද නොසලකා හරිමින් තම පුත්‍රයාගේ ක්‍රීඩා අයිතිය උදුරා ගැනීම පිළිබඳව ඔහුගේ පියා විදුහල්පතිවරයාට එරෙහිව ළමා රක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් කර තිබුණි. ළමා රක්ෂණ අධිකාරිය විසින් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් OIC MCR 20/28/2012 දරණ ලිපිගොණුව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. එහෙත් එම ලිපි ගොණුව අදටත් නීතිපති දෙපාර්තමේන්තුවේ හමස් පෙට්ටියේ වීම කණගාටුවට කාරණයකි. අහිමි වී ඇත්තේ දරුවෙකුගේ අයිතිවාසිකමකි. තමන් වෙහෙස වී දිනා ගත් අයිතිවාසිකමකි. එහෙත් දරුවාට අදටත් සාධාරණය ඉටුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකි වී නැත.
රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති වන උපාලි ගුණසේකරට එරෙහිව පැමිණිලි තිබුණද ඒවා එකල ඔහුගේ දේශපාලන හිතවත්කම් මත යට කිරීමට සමත් විය. නියෝජ්‍ය විදුහල්පතිනිය සමඟ ගැටෙන්නේද ඒ දේශපාලන රැකවරණය තිබූ හෙයිනි. දරුවාගේ සිදුවිමේදීද ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස සිටි නිල්මිණි තෙන්නකෝන් නමැති ගුරුවරිය, සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ස්කොෂ් තරඟාවලිය පැවති දින නියෝජ්‍ය විදුහල්පතිනිය සිය රාජකාරියට බාධා කළ බව පවසමින් ගල්කිස්ස පොලිසියේ පැමිණිලි කරන්නේද උපාලි ගුණසේකරගේ හයියෙනි. දරුවෙකුගේ අයිතිවාසිකම් උදුරා ගැනීමෙන් නොනැවතී යළි මව සමඟ ප්‍රශ්නයක් හදා ගන්නට උත්සහ කිරීම තුළ උපාලි ගුණසේකරගේත් ඔහුගේ අන්තේවාසිකයන්ගේත් තත්ත්වය හෙළිදරව් වේ. නියෝජ්‍ය විදුහල්පතිනියට එරෙහිව ගුරුවරිය කළ පැමිණිල්ල පිළිබඳ ඉතා වුවමනාවෙන් කටයුතු කරන පොලිසියත් නීතිපති දෙපාර්තමේන්තුවත් දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ ළමා රක්ෂණ අධිකාරිය ගොණු කළ පැමිණිල්ල ගැන කිසිදු වග විභාගයක් නොමැති වීම නීතිය තුළ බලයට රිංගා යාමේ හැකියාව පෙන්නුම් කරන්නක් නොවේද?
කිසිදු සාධාරණ හේතුවකින් තොරව සුමේධා ජයවීර මහත්මිය විත්ති කූඩුවට නංවා උපාලි ගුණසේකර සිය පිරුවටේ වැසිකිළියක් බව පෙන්වා හමාරය. තම පහත් ආශාවන් ඉටුකරගැනීමට නොහැකි වූ කළ දරුවෙකු හිංසනයට ලක් කිරීමටද උපාලි ගුණසේකර දෙවරක් සිතුවේ නැත. මේ සාමාන්‍ය මිනිසෙකුගේ හැසිරීමක් නොව දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අද දවස කැපකරනවා කියන විදුහල්පතිවරයෙකුගේ කැපකිරීමේ තරමය.
දේශපාලන රැකවරණය යොදා ගනිමින් බොහෝ දෙනා කළේ මෙවන් අකටයුතුකම්ය. එහෙත් ඒවාට සාධාරණය ඉටුවීම පිළිබඳ ඇත්තේ ප්‍රශ්නයකි. උපාලි ගුණසේකරගේ ප්‍රශ්නයේදීද සිදුව ඇත්තේ ෂේප් වීමක් පමණි. සිදු වුයේ රාජකීයේ විදුහල්පතිකම අහිමි වීම පමණි. දරුවෙකුගේ පාසල් දිවියේ මහත් පරිශ්‍රමයෙන් ගොඩනගා ගන්නා විශිෂ්ට ක්‍රීඩකයෙකු යන ප්‍රතිරූපය විනාශ කිරීමට එරෙහිව උපාලි ගුණසේකර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නීතිපතිගේ නීති පොතේ පිටු පෙරලුණේ නැත. උපාලි ගුණසේකරගේ නොපනත්කම් හමුවේ සුමේධා ජයවීර මහත්මිය එළඹෙන නොවැම්බර් 04 වෙනි දින යළි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවට නැගීමට නියමිතය. ඇය විත්ති කූඩුවට නගිනු බලා රිසි සේ තුටු වීමට උපාලි ගුණසේකර සුදානමින්ය. එහෙත් ළමා රක්ෂණ අධිකාරිය දරුවා වෙනුවෙන් ගොණු කළ පැමිණිල්ල පිළිබඳ හාංකවිසියක දෙයක් නොදන්නා අයුරින් නීතිපති දෙපාර්තමේන්තුව කල්මරමින්ය. ඉතින් කෙසේ යුක්තිය පසිඳලනුද ?
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment