රනිල්ගේ ආර්ථික බලය මෛත්‍රි අතට.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මෙහෙය වූ රටේ ආර්ථික ප්‍රතිපත්තිමය කටයුතුවල බලාධිකාරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීම අලුත් දේශපාලන ගමනක ආරම්භයක් විය හැකි බවට දේශපාලන විශ්ලේෂකයෝ හඳුන්වති.

ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ස්ථාපිත කිරීමට යන ජාතික ආර්ථික සභාවක් හරහා රටේ ආර්ථික කටයුතු මෙහෙයවීමට බලාධිකාරිය පවරා ගැනීම එහි මූලික අදියර බව ඔවුහු හඳුන්වති.

කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන ජාතික ආර්ථික සභාව පිහිටුවීමට අවශ්‍ය කෙටුම්පත් මේ වනවිට සකස් කෙරෙමින් පවතී.

රටේ ආර්ථික කටයුතු මෙහෙය වූ අග්‍රාමාත්‍යවරයා යටතේ පැවැති බලාධිකාරිය ජනාධිපතිවරයා යටතට ගැනීම සිදුව තිබෙන්නේ ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමෙන් පසුව බව වාර්තා වේ. 

ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ ශ්‍රී ලනිප වෙනුවෙන් තමන් ආණ්ඩුව තුළ නියෝජනය වුවත්, ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්ති කිසිවක් රනිල්ගේ ආර්ථික සැලසුම් යටතේ ක්‍රියාත්මක නොවන බවයි.

රාජ්‍ය දේපළ විකිණීම, පෞද්ගලීකරණය යනාදී ආර්ථික සංකල්පයන් ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්තිය නොවන බව ඒ ඇමැතිවරුන් පෙන්වා දී තිබේ. රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීමේ පිළිවෙතට දැඩි ලෙස විරෝධය පළකරන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත්තේ දේශීය ආර්ථිකය හා දේශීය ව්‍යවසායකයන් නඟාසිටුවීමයි.

ගතවූ දෙවසරකට අධික කාලය තුළ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තිමය රටාව තුළින් රට තුළ ආර්ථික ක්‍ෂේත්‍රයේ සුබදායි ප්‍රගමනයක් ඇති වී නොතිබීම හේතුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රී ලනිප ප්‍රතිපත්තිය මත ඉදිරි ආර්ථික කටයුතු මෙහෙය වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

තවද ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස පවතින මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධවත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත පත් කරන ලද බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසම හරහා සිදුවන විශේෂ හෙළිදරව් වීම් දේශපාලන බල අරගලයෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් තිබේ.

ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කළේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපතිවරයා පසුගියදා (17දා) කොළඹ පැවැති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික සැලසුම්කරණ සම්මාන උළෙලේදී අවධාරණය කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment