රාජ්‍ය සේවකයින්ට දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබාගැනීම පිළිබඳව මනෝගනේෂන් ඇමතිවරයා සමග සාකච්ඡාවක්

රාජ්‍ය සේවකයින්ට දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබාගැනීම පිළිබඳව මනෝගනේෂන් ඇමතිවරයා සමග සාකච්ඡාවක්

නියමිත කාලය තුළ එසේ දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබා ගැනීමට අපොහොසත් වන නිලධාරීන්ගේ වැටුප් වර්ධක අත්හිටුවන අතර ඒ නිසාම ඔවුන්ගේ උසස්වීම් ද නොලැබීම යයි. ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම උදෙසා ඇති කරන ලද මෙම විධිවිධාන මේ වන විට ලක්ෂ 6 ක් පමණ රාජ්‍ය සේවකයන්ට පීඩාකාරී වී ඇත. විශේෂෙයෙන්ම මේ හේතුව නිසාම මේ වන විට 11000 ක පමණ විදුහල්පතිවරුන්ට තම උසස්වීම් ද අහිමිව ඇත. මේ තත්වය තුළ දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබා ගැනීමේ අවශ්‍යතාවය සැපිරීම සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් මහතා සමග 2017.09.01 දින ලංකා ගුරු සංගමය සාකච්ඡාවක් පවත්වන ලදී.

එම සාකච්ඡාවේදී භාෂා ප‍්‍රවීණතාවය සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳිය යුතු බවට මනෝගනේෂන් ඇමතිවරයා එකඟ විය. මෙහිදී ලංකා ගුරු සංගමය භාෂා ප‍්‍රවීණතාවය ලබාගැනීමට රාජ්‍ය සේවකයන්ට අවස්ථා සලසාදීම සම්බන්ධයෙන් 01/2014 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයෙන් විධිවිධාන කි‍්‍රයාත්මක වී නොමැති බව පෙන්වා දෙන ලදී. එසේම ලංකා ගුරු සංගමය විසින් සමස්ත රාජ්‍ය සේවකයන්ට භාෂා ප‍්‍රවීණතාවය ලැබීම සම්බන්ධයෙන් පහත යෝජනා ඉදිරිපත් කරන ලදී.

1. භාෂා ප‍්‍රවීණතා විභාග සමත්වීම වෙනුවට, 2007.07.01 දින සිට රාජ්‍ය සේවයට ඇතුළත්ව භාෂා ප‍්‍රවීණතාවය සැපිරිය යුතු රාජ්‍ය සේවයේ සියලූම නිලධාරීන්ට ඒ ඒ සේවාවන්ට නියමිත ප‍්‍රවීණතා මට්ටමට අනුව නියමිත පැය ගණනකින් යුතුව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ මග පෙන්වීම මත සකස් කරනු ලැබූ විෂය නිර්දේශ මත පවත්වන භාෂා පුහුණු පාඨමාලාවක් සඳහා සකි‍්‍රයව සහභාගීත්වය පමණක් අදාළ කර ගැනීම.

2. ඊට අමතරව භාෂා ප‍්‍රවීණතාවය ඉහළ මට්ටමකින් සපුරා ගැනීම දිරි ගැන්වීම සඳහා රාජ්‍ය භාෂා ප‍්‍රවීණතා විභාග සමචත්වීම හෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අදාළ රාජ්‍ය භාෂාව සමත්වීම පදනම් කරගෙන දිරිගැන්වීමේ දීමනාවක් හෝ වැටුප් වර්ධක ලබාදීම (එය සේවා කොන්දේසියක් නොකළ යුතුය.)

3. රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට පවත්වනු ලබන භාෂා පාඨමාලා නොමිලේ පැවැත්වීම සහ ඒ සඳහා රාජකාරි නිවාඩු ලබාදීම.

මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙම යෝජනා පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කැබිනට් පති‍්‍රකාවක් යොමු කිරීමට අමාත්‍යවරයා එකඟතාවය පළ කරන ලද අතර, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට කඩිනමින් භාෂා ප‍්‍රවීණතාව අවශ්‍යතාවය සපුරා ගැනීම සුදුසු වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට ද එකඟතාවය පළ කරන ලදී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment