ඝාතනයෙන් වසරකට පසු සීඅයිඩීය විමර්ශන අරඹයි

ඝාතනයෙන් වසරකට පසු සීඅයිඩීය විමර්ශන අරඹයි

නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මීට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත. 1978 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව විමර්ශන භාරගැනීම යනුවෙන් දක්වමින් ඊ/93228/2016 නඩුවට අදාළව මේ දැනුම් දීම කර ඇත. මේ අනුව ගාල්ල රක්ෂිත බන්ධනාගාරයේ වෙනත් නඩුවකට අදාළව රඳවා සිටින දසුන් සුරංග මානවඩු නම් සැකකරුගෙන් ප්‍රේමසිරි හැලඹගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

2016 අගෝස්තු 12 දින අම්බලන්ගොඩ පිහිටි අදාළ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස අසලදී ඔහු ව ඝාතනය කර තිබිණි. මේ ඝාතනය සිදු කරන ලද්දේ තමන් සහ තම මස්සිනා විසින් බවත්, එහෙත් තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම අම්බලන්ගොඩ පොලීසිය හිතාමතාම මගහරිමින් තමන්ව ඝාතනය කිරීමේ උත්සාහයකට සහාය දෙමින් සිටින බවත් දසුන් සුරංග මානවඩු නම් සැකකරු දිව්රුම් පෙත්සමක් මගින් ජාතික පොලිස් කොමිසමට සහ අධිකරණ සේවා කොමිසමට පවසා තිබිණි.

මේ වනවිට අදාළ සැකකරු විසින් චෝදනා එල්ල කළඅම්බලන්ගොඩ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද විල්ලෝරආරච්චි වවුනියාවට මාරු කර යැවීමට පොලිස් කොමිසම කටයුතු කර ඇත. එහෙත් ඒ මාරුවීමට හේතුව කුමක්ද යන්න නිශ්චිත නොවන අතර, පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ සේවා අවශ්‍යතා මත යනුවෙනි.

- ශාලික විමලසේන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment