ආගමන විගමනය හා පුද්ගලයින් ලියාපදිංචිය හොර ගුහාවක් !

ආගමන විගමනය හා පුද්ගලයින් ලියාපදිංචිය හොර ගුහාවක් !

 

ගුවන් ගමන් බලපත් මුද්‍රණය කිරීම දැනට වසර 12ක් තිස්සේම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකම සමාගමක් වෙත ලබාදෙන බවත් එපික් ලංකා නම් එම සමාගමෙහි හිමිකරු වන නයන දෙහිගම, ආගමන විගමන පාලක ජනරාල් වරයාගේ හිතවතෙකු බවත් වාර්තාවේ. එසේම වසරක් පාසා ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණ ගාස්තු ගෙවීම් ඉහළ දමමින් එකී මුද්‍රණ කටයුතු වලින් ලැබෙන ඉහළ ලාභය එම්. එන්. රණසිංහ, නයන දෙහිගම සහ හිටපු ආගමන විගමන කොමසාරිස් වියානි ගුණතිලක යන අය විසින් බෙදාගන්නා බවත් සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වියානි ගුණතිලක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස්වරයා ද වෙයි.

නයන දෙහිගම ව්‍යාපාරිකයා විසින් වසරකට වරක් හෝ දෙවරක් බැගින් විදෙස් සංචාර සහ සියළුම කම්සැප ලබා දෙමින් ඉහත කී නිලධාරීන් දෙදෙනා තම අභිමතය පරිදි හසුරුවා ගන්නා බවත් මොවුන්ගේ සහයට හතර වැනි සහ පස් වැනි පාර්ශ්ව ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා සහ සහකාර ලේකම් බණ්ඩාර යන අයද සම්බන්ධ කොටගෙන අනාගතයේදී මහා පරිමාණ ටෙන්ඩර් එපික් ලංකා සමාගමට ලැබෙන තැනට අඩිතාලම දැන්ම සකස් කරගෙන තිබෙන බවත් ආරංචිමාර්ග සඳහන් කරයි. 

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාඩ්පත් සැපයීම සඳහා පසුගිය දා කැඳවූ ටෙන්ඩරයද සියළු පිරිවිතර සැපයූ සමාගම් කපා හැර අවශ්‍ය තත්ව වාර්තා හෝ ලබා නොදුන් තම හිතවත් සමාගමට ප්‍රදානය කිරීමට මෙකී වංචනික හවුල කටයුතු කර තිබේ. ඒ, අදාල තත්ව වාර්තා පසුව දෙන පොරොන්දුව පිටය. එම තත්ව වාර්තා ලබා ගැනීම සඳහා ද තම හිතවත් සමාගම විසින් ම යෝජිත විදේශ සමාගමක් වෙත යවා ඇති බවත් එම විදෙස් සමාගම ඔවුන්ට අවශ්‍ය ආකාරයට තත්ව වාර්තා සකස් කරන බවත් වාර්තා වේ. එසේම මෙම කාඩ්පත් මුද්‍රණය කිරීමේදී විශාල ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් වාර්තා වන අතර මෙහි අනෙත් පසින් මෙම කාඩ්පත් මුද්‍රණය කරන ආයතන නිරීක්ෂණ කිරීම සඳහා ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති අමාත්‍ය ලේකම්, සහකාර ලේකම් බණ්ඩාර සහ වියානි ගුණතිලක යන අයට හංගේරියාවට දින 5ක සංචාරයක් ද ලබා දී තිබේ. 

එමෙන්ම මේ දිනවල පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කෙරෙන නව ටෙන්ඩර් ද එපික් ලංකා සමාගමට ම ලබා දීම සඳහා එහි කොමසාරිස් වියානි ගුණතිලක යටි කූට්ටු වැඩ වල නිරත වන බවත් මෙහි මහ මොළකරු වශයෙන් එම්. එන්. රණසිංහ විසින් ඔහුව හසුරුවන බවටත් ආයතන ආරංචිමාර්ග පවසයි. එසේම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලකගේ පුත්‍රයාගේ අවමංගල්‍ය කටයුතු සඳහා සියළු වියදම් දරා ඇත්තේ ද එපික් ලංකා සමාගම විසින් බව දැන ගැනීමට හැකිව තිබේ. 

යහපාලන රජය බලයට පැමිණියේ හොරකම, වංචාව, දූෂණය පිටු දකින බව කියමිනි. මහජන දේපොළ හොරාකමින් සුර සැප විඳින දූෂිතයින් ආයතන වල පුරවාගෙන බිහි කළ හැකි යහපාලනයක් නැත. එහෙයින් මෙවන් නිලධාරීන් නීතිය හමුවට ගෙනැවිත් අන් අයට ද පාඩමක් වනු පිණිස දඬුවම් කළ යුතුය. එසේ නොමැතිව පැරණි හොරුන් ගැන පමණක් දවස පතා කියව කියවා උඩ බලාගෙන හිඳින්නේ නම් අලුත් හොරුන් ආණ්ඩුවේ පාදම ද හීන් සීරුවේම කපා දමන තුරු කිසිවෙකුට නොදැනෙනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment