වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ [Video]


හින්දු බැතිමතුන් වන්දනා කරන ගනේෂ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළෙඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබේ.

විවිධ ආගම් අදහන පිරිසක් එකම මේසයක වාඩි වී භෝජනයක් රස විඳින ආකාරය ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් විසින් සකස් කරන ලද එම වෙළෙඳ දැන්වීමේ දැක්වේ.

එහෙත් ගනේෂ දෙවියන් මස් බුදින බවක් මීට ඉහතදී කිසිදු තැනක සඳහන් වී නොමැති බැවින් එම වෙළෙඳ දැන්වීම ඕස්ට්‍රේලියාවේ හින්දු බැතිමතුන්ගේ දැඩි විරෝධයට ලක්විය.

එබැවින් එම දැන්වීමට එරෙහිව සිය විරෝධය ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආයතන තුනකට දැනුම් දුන් බව කැන්බරා අගනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

'අපහාසාත්මක වෙළෙඳ දැන්වීමක්'

එමෙන්ම එම වෙළෙඳ දැන්වීම "අපහාසාත්මක සහ තමන්ගේ ආගමික විශ්වාසයන්ට රිදවන්නක්" ලෙස බොහෝ දෙනා විශ්වාස කරන බැවින් එය ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියාවේ අදාළ දෙපාර්තමේන්තුවෙන් (Meat & Livestock Australia - MLA) ඉල්ලීමක් කළ බව ද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ හැරුණු විට ඉන්දීය ප්‍රජා සංවිධාන ගණනාවක් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය විරෝධය පළ කර ඇති බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ සහ සයන්ටෝලොජි නිකායේ නිර්මාතෘවරයා ඇතුළු ආගමික නායකයන් එකම මේසයක අසුන් ගෙන භෝජනයක් භුක්ති විඳින ආකාරය එම රූපවාහිනී වෙළෙඳ දැන්වීමට ඇතුළත් වේ.

මහමත් නබි තුමන්ට භෝජන සංග්‍රහයට "සහභාගි විය නොහැකි වූ" බව ද දැන්වීම අතරතුර සඳහන් වේ.

එයට එරෙහිව "විවිධ ආගම් භක්තිකයන්ගෙන්" 30 කට අධික පැමිණිලි ලැබී තිබෙන බව වෙළෙඳ දැන්වීම් පිළිබඳ ප්‍රමිති කාර්යාංශය (Advertising Standards Bureau) පවසයි.



බැටළු මස් බුදීම ප්‍රවර්ධනය පිණිස ගනේෂ දෙවියන්ගේ රූපය යොදාගත් "හෙළා දැකිය යුතු උත්සාහයක්" ලෙසින් ඕස්ට්‍රේලියාවේ හින්දු සභාව පවසන අතර, එම වෙළඳ දැන්වීම තහනම් කරන මෙන් ඉල්ලා ආරම්භ කරන ලද අන්තර්ජාල පෙත්සමකට මේ වන විට 4400 කට වැඩි පිරිසක් අත්සන් තබා තිබේ.

එහෙත් ඕස්ට්‍රේලියාවේ විවිධත්වය සහ එකමුතු බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය නිර්මාණය කරන ලද පවසමින් MLA ආයතනය පසුගිය සතියේ එය ආරක්ෂා කර තිබුණි.

(BBC ඇසුරිනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment