ඉල්මහේ මතක - සුමිත් චාමින්ද

ඉල්මහේ මතක - සුමිත් චාමින්ද

 

දහස් ගණනක් මළවුන් නිදන නිම්නයේ
දුරින් පා තබා ඇවිදින වෙලේ
අතීතෙන් නුඹේ කටහඬ ඇසේ
මතක මාරුත හමයි හදවතේ

මං මුලාවූ සමනල රැහේ
උතුරුදිග වේදනා නොදුටුවේ
සොඳුරු සිතිවිලි අහස කැළඹුනේ
සහෝදර පියාපත් ඇවිලුනේ

වර්ගවාදයේ ගිනිසර වැදී
විශ්වමය චින්තනය මැලවුනේ
දේශයේ පටු වංක ගිරි කුලේ
නුඹට පමණක් නොවෙයි වැරදුනේ

නමුදු නුඹ සිහින උයනේ පිපී
සුවඳ විහිඳුණු පැතුමක් තියේ
සිහින නැති අදක වෙසෙනා අපී
ඒ පැතුම නොදැක ඉන්නද කෙසේ

දකුණුදිග අහස කළුවර වැටේ
ඉල් මහේ කඳුළු වැසි ඇද හැලේ
සුවහසක් වේදනා විඳි බිමේ
අනාගත කැකුළු තැන තැන පිපේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment