මැඩගස්කරයට මහාමාරිය!

මැඩගස්කරයට මහාමාරිය!

මෙම මහාමාරිය වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විස්තර කරන්නේ ‘සියලු රෝග අතරින් ලෝකය වඩාත්ම බිය වන සහ ලෝකයේ පැරණිම රෝගය’ වශයෙනි.

මැඩගස්කරය අඩසියවසක අතීතය තුළ මුහුණ දී සිටින භයානකම වසංගතය වන්නේ ද මෙයයි.

‘කාල මරණය’ (බ්ලැක් ඩෙත්) යනුවෙන් අතීතයේ හැඳින්වූ මහාමාරිය වසංගතය හේතුවෙන්  14 වන සියවසේදී මිලියන 50 ක ජනතාවක් යුරෝපය පුරා මරණයට පත් විය.

තවමත් ලෝකයේ ඇතැම් රටවල්වලින් මහාමාරිය තත්වය වරින් වර ඉස්මතු වුවත් වසංගත තත්වයෙන් බරපතළ ලෙස එය පැතිර යන්නේ කලාතුරකිනි. අද වන විට ඩිමොක්‍රටික් කොංගෝ ජනරජය, මැඩගස්කරය සහ කොංගෝ ජනරජය මෙම අවදානම ඉහළම රටවල් වශයෙන් හඳුනා ගැනේ.

මහාමාරිය ඇතිවන්නේ යෙර්සෙනියා පෙස්ටිස් (Yersenia peptis) නමැති බැක්ටීරියාව ආසාදනය වීමෙනි. මීයන් වැනි කුඩා ක්ෂීරපායී සතුන් සහ උන්ගේ සිරුරුවල ජීවත් වන මැක්කන්ගෙන් මෙය බෝවන අතර එම මැක්කන් මිනිසුන්ව හපා කෑ විට එය මිනිසුන්ට ආසාදනය වේ. අප්‍රිකාව, ආසියාව සහ ඇමරිකානු රටවල කුඩා ක්ෂීරපායීන් මෙම බැක්ටීරියාවේ වාහකයන් බවට නූතන කාලයේ හඳුනාගෙන තිබේ.

මහාමාරිය වසංගතය ආකාර දෙකකින් දැකගත හැකිය. එනම් බියුබොනික් සහ නියුමොනික් වශයෙනි. බියුබොනික් තත්වයේදී එය මිනිසුන් එකිනෙකා අතර පැතිරෙන්නේ අඩු වශයෙනි. ආසාදනය වූ විට මරණ ප්‍රතිශතය 30%-60% අතර වේ. එය නියුමෝනියා හෝ පෙණහළු ආසාදනයක් බවට පත්වන්නට පුළුවන. නමුත් නියුමොනික් තත්වයෙන් මහාමාරිය වසංගතය වැළදුණු විට එය මිනිසුන් අතර සීඝ්‍රයෙන් පැතිරී යයි. අප්‍රමාදීව නිසි ප්‍රතිකාර නොලැබුණහොත් අනිවාර්යයෙන්ම මරණය අත් වේ. සනීපාරක්ෂාව සහ පලිබෝධ පාලනය මෙම රෝගය නිවාරණය කළ හැකි හොඳම ක්‍රම වශයෙන් සැලකේ.

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මහාමාරිය රෝගය, සරල ප්‍රතිජීවක (ඇන්ටිබයටික්ස්) එන්නතක් මගින් වළක්වා ගත හැකිය. තවද නිසි කාලයේදී ප්‍රතිකාර ලැබුවහොත් රෝගය අවදානම් තත්වයට පත්වීමෙන් තොරව මුළුමනින්ම සුවකර ගන්නට ද පුළුවන.

ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන මැඩගස්කර දූපතේ සෞඛ්‍ය සේවාවන් මේ වන විට සාපේක්ෂව දියුණු තත්වයක පවතී. මේ නිසා වසංගත තත්වයට ගොදුරු වූවන් නිසි ප්‍රතිකාර ලබාගතහොත් රෝගය ඉක්මනින් මැඬලීමට හැකි වනු අතර, මෙම වසංගතය ලෝකයේ සෙසු රටවලට ව්‍යාප්ත වීම ද මන්දගාමී වනු ඇත.

-අමාලි ජයවීර

කාල මරණය - 14 වන සියවස

ඉන්දියන් සාගරය තුළ මැඩගස්කරයේ පිහිටීම

මහාමාරිය වසංගතය වැඩිම රටවල් 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment