රොහින්ගියා අර්බුදය වාර්තා කළ රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනා තවත් දින 14කට රිමාන්ඩ්!

රොහින්ගියා අර්බුදය වාර්තා කළ රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනා තවත් දින 14කට රිමාන්ඩ්!

ඔවුන්ට එරෙහිව නගා තිබෙන චෝදනාව වන්නේ මියැන්මාරයේ නිල රහස් පනත උල්ලංඝනය කිරීමයි.

මේ අනුව වෑ ලොන් නමැති 31 හැවිරිදි මාධ්‍යෙව්දියා සහ ක්යාව් සෝ නමැති 27 හැවිරිදි මාධ්‍යෙව්දියා නැවතත් යැන්ගුන් අගනුවර ඉන්සෙයින් බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබිණි. ඔවුන්ට අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රථම වතාවට සිය පවුලේ ඥාතීන් සමග කතා බහ කිරීමට ලැබුණේ ද අද දිනයේ ය.

ඔවුන් දෙදෙනා මියැන්මාරයේ රඛීන් ප්‍රාන්තයේ රොහින්ගියානුවන්ට එරෙහිව සිදුවන අපරාධ සහ අර්බුදයේ තත්වය වාර්තා කිරීමේ යෙදී සිටි මාධ්‍යවේදීන් ය. පොලිස් නිලධාරීන් සමග රාත්‍රී භෝජනයක් සඳහා ගිය අවස්ථාවේදී ඔවුන් ව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුව එම පොලිස් නිලධාරීන්ම මේ දෙදෙනාට චෝදනා කර තිබෙන්නේ ‘විදෙස් මාධ්‍යවලට ලබාදීමේ අරමුණින් නීති විරෝධී ආකාරයෙන් තොරතුරු ලබාගත් බව“ කියමිනි.

යටත්විජිත සමයේ ගෙන ආ බ්‍රිතාන්‍ය නීතියක් වන මියැන්මාරයේ නිල රහස් පනතට අනුව මෙසේ තොරතුරු ලබාගැනීම නීති විරෝධී වන අතර, එම වරද සඳහා වසර 14 ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය. කෙසේ නමුත් මාධ්‍යවේදීන් දෙදෙනා අවධාරණය කරන්නේ තමන් මාධ්‍ය නීතිය හෝ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය නොකළ බවයි. එනිසා මෙම අසාධාරණයට විරුද්ධව සටන් කරන බව ද ඔවුහු පවසති.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම මේ වන විට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර, මියැන්මාරයේ ක්‍රියාත්මක වන මාධ්‍ය මර්දනය ට මෙය කදිම උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති. ‍රොයිටර්ස් පුවත්සේවය ද අවධාරණය කරන්නේ ඔවුන් වහාම නිදහස් කළ යුතු බවයි.

යැන්ගුන් නගරයට සැතපුම් 180 ක් දුරින් පිහිටි පායි නමැති නගරයේදී අද දිනයේ මේ දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් ද දැකගත හැකි විය. නීතීඥයන්, මාධ්‍යෙව්දීන් සහ ගොවීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා එක් වී සිටියහ.

ජගත් සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව රඛීන් ප්‍රාන්තයේ හටගත් ප්‍රචණ්ඩක්‍රියා වලින් දිවි බේරාගැනීමේ අරමුණින් පළා ගොස් ඇති මුස්ලිම් ජාතිකයන් ගණන 65000 කි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය මෙන්ම කැනඩාව ද මොවුන් දෙදෙනා නිදහස් කරන ලෙසට මීට පෙර මියැන්මාරයෙන් ඉල්ලා තිබිණි.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment