පුංචි ඡන්දෙන් පස්සෙ රට පුරාම එජාප-ශ‍්‍රිලනිප පුංචි ආණ්ඩු.


සම්මුතිවාදී ආණ්ඩුකරණය පුංචි ආණ්ඩු සඳහාද හඳුන්වා දිය යුතු යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි.

පක්ෂ ‍ගැන නොව රට ගැන සිතා කටයුතු කිරීමෙන් එම ඉලක්කය සපුරා ගත හැකි බවද රණතුංග මහතා කියා සිටී.

“දැන් ජාතික ආණුඩුවේ තියෙන්නේ සම්මුති ආණුඩුවක්. ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඒ පුංචි ආණ්ඩුත් එකතු වුණොත් හොඳ නැද්ද ?” යනුවෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ රටේ ප්‍රශ්න විසඳීමට ඇති එකම විසඳුමත් එයම වන බවයි.

පක්ෂ ගැන නොසිතා බලය බෙදාගෙන ඉදිරියට යාම වැදගත් බවද කියා සිටියේය.

“මේ රටේ තියෙන ප්‍රශ්න විසඳගන්න නම් පක්ෂ පැත්තකින් තියලා මේ හැමෝම එකතු වෙන්න ඕනේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක දැක්මකින් රට ගැන හිතලා කටයුතු කරන්නත් ඕන. ඒක පළාත් සභාවේද , ප්‍රාදේශීය සභාවේද, නගර සභාවේද කියලා වෙනසක් නැහැ. එහෙම නැතිව තමන්ගේ පටු අදහස් මත දේශපාලන කරන්න ගියොත් එයින් වෙන්නේ රට විනාශ කිරීමක්. ඒක පහුගිය කාලේ සිද්ධ වුණා. නමුත් 2015 අපි ආණ්ඩුව ගත්තට පස්සේ හොඳ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. එය ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩු තිබුණත් ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන එක තමයි වැදගත් වෙන්නේ….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මේ බව කියා සිටියේ යක්කල අලුත්ගම පල්ලියගොඩැල්ල ශ්‍රී සුමංගලාරාමයේ අද (03) පැවැති ගමේ පන්සල ග‍මට සවියක් ප්‍රජාසත්කාරක වැඩසටහනට එක් වෙමිනි.

ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන මව්රට තරුණ සංවිධානයේ ඉදිරිපත් කිරීමකි. මෙවර එහි පැවැත්වුණේ හයවැනි අදියරයි. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සහභාගිත්වයෙනි. ප්‍රදේශයේ දූ දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම සහ දහම්පාසල් අධ්‍යාපනයට ඇවැසි විෂය මූලික පොත් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය. එම වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ එක්වීමට පළමුව ජනවරම ගැන වඩාත් සිතිය යුතු බවයි.

“අපිට ඡන්දෙට ගියාම තේරෙයි මහජනතාව කොහාමද ඡන්දේ දෙන්නේ කියලා. ජනාධිපතිවරණයෙන් පසුව තිබුණු මහ මැතිවරණයේදී අපේ රටේ ජනතාව කිසිම පක්ෂයකට පැහැදිලි බලයක් දුන්නේ නැහැ. බලය දුන්නේ පක්ෂ දෙකටම එකතුවී ඉදිරි ගමනක් යන්න. ඒ ජනවරම ආරක්ෂා කිරීම අපේ වගකීම වනවා. නමුත් කණ්ඩායම් දෙක එකට එක්කහු වෙනවා නම් ඒක දේශපාලන නායකත්වය ගතයුතු තීරණයක්. මොනව වුණත් මම දකින එකම දේ මේ ආණ්ඩුව තව අවුරුදු 2ක් යනවා.‍ මහජනතාව ශ්‍රීලංකා එකටයි යූ.ඇන්. පී. එකටයි ඡන්දේ දුන්නේ දෙපිරිසටම එකතු වෙලා රට පාලනය කරන්න කියලා. අද වන විට අපිට සෑහෙන වැඩ කොටසක් කරන්න පුලුවන් වෙලා තියෙනවා. මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ. එහෙම නැතිවුනොත් අපි කරන්නේ මහජනතාව දුන්න වරමට විරුද්ධ වීමක්. පාවා දීමක්. ඒ නිසා ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඉදිරි අවුරුදු 2ත් මේ ආණ්ඩුව එකට තියාගෙන ඉදිරියට යාම වඩාත් වැදගත්….” බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේය.

– තමීර මංජු

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment