ප්‍රියත් බන්දු දියකාවා නැව පරණ යකඩ වලට විකුණූ හැටි

ප්‍රියත් බන්දු දියකාවා නැව පරණ යකඩ වලට විකුණූ හැටි

 

දියකාවා නැව 2004 සුනාමි ව්‍යසනයේදී අඩක් මුහුදුබත් වූ නෞකාවකි. එවන් නෞකා සම්බන්ධයෙන් කටයුතු කිරීම භාරව ඇත්තේ වරාය කළමනාකරණ ආයතනයටය. නිල බලයෙන් ම එහි ප්‍රධානියා වන්නේ වරාය සභාපතිවරයාය.

මෙසේ අඩක් ගිළුණු නෞකාව පරණ යකඩ වලට වෙන්දේසි කර ඉහළම මිලක් උපයා ගන්නා ලෙස 2007 වසරේදී කැබිනට් තීරණයක් ගෙන ඇත. ඒ වන විට දියකාවා නැවෙහි තක්සේරු වටිනාකම ලෙස දක්වා ඇත්තේ රුපියල් ලක්ෂ 50කි. එහෙත් මෙම නැවෙහි පරණ යකඩ ටොන් 10,000ක් අඩංගු වී ඇත. මෙම තක්සේරු වාර්තාවට අනුව නම් දියකාවා නැවේ යකඩ ටොන් එකක් ගණන් බලා ඇත්තේ රුපියල් 500 ගණනේය. මේ සොච්චම් තක්සේරු වාර්තා කවුරුන් විසින් සැකසුවාදැයි නොදන්නා මුත් තක්සේරුවෙහි පටන් වංචාව ඇරඹී ඇති බව පැහැදිලිය.

ඉන් අනතුරුව කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ප්‍රියත් බන්දු විසින් තමන්ට හිතවත් යකඩ ව්‍යාපාරිකයකු වන මැනුවල් ග්‍රේශන් නමැත්තාට දියකාවා නැව යකඩ වලට කැඩීම සඳහා භාර දී ඇත. මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන නිලධාරීන්ට මැනුවල් ග්‍රේශන් නම් ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මේ ගනුදෙනුව සඳහා අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 100ක මුදලක් ප්‍රියත් බන්දුට ලබා දී ඇති බවය. නැවෙහි තක්සේරු වටිනාකම ලක්ෂ 50ක් ලෙස පෙන්වද්දී ප්‍රියත් බන්දුට පමණක් ලක්ෂ 100ක් ලැබෙන මේවා අපූරු ව්‍යාපාරික ගනුදෙනුය.

ප්‍රියත් බන්දු වික්‍රම තමන්ට රිසි සේ වරායේ නටන්නට පටන් ගන්නේ 2007 දී එවකට වරාය හා නාවික කටයුතු ඇමති මංගල සමරවීර එම තනතුරින් ඉවත් වීමෙන් අනතුරුවය. ප්‍රියත්ගේ දියකාවා වංචාවට ද තවත් බොහෝ පිරිස් සම්බන්ධය.

මෙම දියකාවා නැවේ ගනුදෙනුව සම්බන්ධව තව බොහෝ තොරතුරු අප සතුව ඇතත් දැනට හෙළිදරව් කළ හැක්කේ ඉන් කොටසක් පමණය. ඒ මෙම වංචාව සම්බන්ධයෙන් තවමත් අධිකරණය වෙත හෝ කරුණු ඉදිරිපත් කර නොමැති නිසාය. එහෙයින් අධිකරණයට කරුණු ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම සම්පූර්ණ ගනුදෙනුව කෙරුණු ආකාරය පිළිබඳව මනා හෙළිදරව්වක් ලංකා නිව්ස් වෙබ් හරහා බලාපොරොත්තු වන්න.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment