'මම සුනාමියට අහුවෙලා කර කියා ගන්න විදියක් නැතිව එහෙ මෙහෙ දිවුවා. මිනිස්සු හැම තැනම දුවනවා මම දැක්කා. සිංහල මුස්ලිම් හැමෝම එතන හිටියා. එයාලත් එක්ක මමත් දිවුවා. අපි නතර උනේ හම්බන්තොට නිම්බාරාමය පන්සලේ. ඒ වෙලාවේ පල්ලියත් සුනාමියට අහුවෙලා තිබුන නිසා පන්සලේ සිංහල, මුස්ලිම් හැමෝම නතර වුනා.' සුනාමි දිය පහරින් දිවි බේරාගත් ෆාතිමා නිෆ්රානා කියා සිටී.
සුනාමියට අහුවෙලා අපි පන්සලේ නතර වුනාට පස්සේ කන්න දුන්නේ හාමුදුරුවෝ. පස්සේ හැම තැනින්ම ඇවිල්ලා අපිට අවශ්‍ය කරන දේවල් ලබා දුන්නා. ඊට පස්සේ දිනයේ අපි ගෙවල් බලන්න ගියා. ගෙවල් කැඩිලා තිබුන නිසා අපි පල්ලියට ගියා. නමුත් ඒ වෙනකොට අපේ පවුලේ 42 දෙදනකු පමණ අපිට අහිමි වෙලා.'
තම පවුලේ ඥාතීන් හිතවතුන් බොහොමයක් රුදුරු රළ පහරට හසුවී තම ජීවිතය බේරාගෙන දිවගොස් පන්සලේ එදින රැකවරණ ලැබූ පිරිස් අතර වූ ෆාතිමාෙගේ කතාව ආගමික සංහිඳියාව යනු කුමක්ද යන්න මොනවාට කියා පායි. ආගම්, කුල, ජාතින් කොතෙක් ඇතත් ඒ සෑම කෙනෙකුටම හුස්ම ගන්නට ඇත්තේ එකම අවකාශයකි. එය සිංහල මිනිසුන්ට, මුස්ලිම් මිනිසුන්ට, දෙමළ මිනිසුන්ට වෙන වෙනම වෙන්කර නොමැත. සුනාමියද මිනිසුන්හට බැට දුන්නේ ජාතීන් වශයෙන් වෙන්කර නොවේ.
'මට එතකොට වයස අවුරුදු 21 යි. අපි හිටියේ හම්බන්තොට දැන් වෙරල උද්‍යානය තියෙන තැන. 9.25 ට විතර ගෙවල් ලගින් කෙනෙක් දිවුවා ඔන්න මුහුද එනාවා කියලා. අපිට ගුවන් යානාවක් යනවා වගේ සද්දයක් ඇහුනා. එතකොට හිටියේ මමයි මගේ පුන්චි අම්මලා දෙන්නයි මගේ අයියයි. පස්සේ අපි හැමෝම එකට දිවුවා. වතුර දැක්ක ගමන් කකුල් දෙක පන නැතිව ගියා. මම පුන්චි අම්මගේ අත අල්ලාගෙන හිටියේ අත අතහැරිලා මම ගහගෙන ගියා. පුංචි අම්මත් ගහගෙන ගියා. ගොඩක් මිනිස්සු බඩු මුට්ටු එක්ක ගහගෙන යනවා මම දැක්කා. ලොකු බෝක්කුවක් තිබුනා. ඒ බෝක්කු කටට වෙනකම් රැල්ල මාව තල්ලු කරගෙන ගියා. කොහොම හරි එක කණුවක් තිබිලා එ්ක මම බදා ගත්තා. එතොකොට මගේ බෙල්ල ලගට වෙනකම් වතුර තිබුනා. විනාඩි 10 කින් වගේ එක පාරටම වතුර පාර අඩුවෙලා ගියා. එතොකොට තැන්තැන්වල මිනී තිබුනා. මගේ ඇස් ඉදිරිපිටම මිනී දෙකක් තිබුනා. මගේ පුංචි අම්මලා දෙන්නම නැතිවුණා'යැයි ෆාතිමා නිෆ්රානා පවසා සිටියාය.
'මම හම්බන්තොට නගරයේ ව්‍යාපාරයක් ලෙස වී මෝලක් කරගෙන ගියා. ඒ ස්ථානයට සුනාමි ඇවිල්ලා මගේ බිරිදත් නැන්දම්මත් මාමත් දරුවෝ දෙන්නත් සියලුම දෙනා සුනාමියට ගියා. මට දුව විතරයි ඉතුරු උනේ. දේපලත් විනාස උනා. ඒ අවස්තාවේ බොහොම අමාරුවෙන් බේරුනා. සිංහල මුස්ලිම් හැමෝම අපිට උදවු කළා.' ධර්මසේන ගුණවර්ධන මහතා කියා සිටියේය.
'අපේ පල්ලිය තියෙන්නේ නිම්බාරාමය පන්සලට ආසන්නව. සුනාමියෙන් පස්සේ අනාථ වුනු ගොඩක් අය පනසලට ගියා. පස්සේ පනසලේ ඉඩ නැති නිසා පල්ලියටත් ආවා. එතන සිංහල පසුල් 30 ක් විතර හිටියා. ඒ හැමෝටම දින ගණනාවක් කන්න බොන්න අවශ්‍ය කරන දේවල් දුන්නේ පල්ලියෙන්. සිංහල මුස්ලිම් දෙමළ කාටත් එකවගේ සැලකීමට සැලකීමට හැකිවුණා.' හම්බන්තොට මුභියද්දීන් අරුශියා කාදිරියා තාක්කිය මුස්ලිම් පල්ලියේ මව්ලවි තුමන් වන එම්.එච්.එම්.රිසාන් මව්ලවිතුමා පවසයි.
ආගම් වෙනුවෙන්, ජාතීන් වෙනුවෙන් ඇන කොටා ගනිමින් කටයුතු කරන මිනිසුන්ට ස්වභාවධර්මයාගේ සැලකීම ඒ කිසිදු වෙනසක් ගැන නොසලකන බවට සුනාමි ව්‍යසනය කාටත් පාඩමක් කියා දුන් බවද හෙතෙම කියා සිටියේය.
2004 දෙසැම්බර් 26 වැනිදා, සුනාමි දළ රළ නිසාවෙන් අපට අහිමි වූ දහස් සංඛ්‍යාත පිරිස් සිහිකරමින් 13 වන ජාතික ආරක්ෂණ දින සැමරුම අද (26) දින පෙරවරුවේ හම්බන්තොට නගරයේ බස් නැවැතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වුනේ සර්ව ආගමික වතාවත් සිදු කරමින් ආගමික සංහිඳියාවද ඔප්නංවමිනි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, හම්බන්තොට වෙළඳ සංගමය, හම්බන්තොට මහා නගර සභාව මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර එයට සමගාමීව සුනාමියෙන් විපතට පවුල්වල පාසල් යන දරුවන්හට පාසල් උපකරණ ලබාදීමද සිදුකෙරිණි.
සුනාමි ඛේදවාචකයෙන් හම්බන්තොට දිස්ත්‍රිකයේ පමණක් පවුල් 16,000 කට අධික පිරිසක් මෙන්ම පුද්ගලයින් වශයෙන් 66,900 කට ආසන්න පිරිසක් පීඩාවට පත්වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච්. කරුණාරත්න මහතා සඳහන් කරයි. එමෙන්ම සුනාමියට ගොදුරු වී හම්බන්තොට දිස්ත්‍රිකයේ පුද්ගලයින් 4,200 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර,තවත් 900 කට අධික ප්‍රමාණයක් අතුරුදහන්වූවන්ගේ ලේඛනයට ඇතුලත් වී තිබේ.
විවිධ ආගම් අදහමින් විවිධ ජාතීන් නියෝජනය කරමින් විවිධාකාර බෙදීම්වලට ලක්වී ඇතත් පොදුවේ අපි සියලු දෙනාම එකම මිනිසුන් හැටියට, එකම කණ්ඩායමක් හැටියට සැලකුවොත් එකම අහස යට හුස්ම ගන්නා මිනිසුන් ලෙස මේ ඛේදවාචකයත් අපි සියලු දෙනාටම සමාන වෙනවා එම නිසා තම තමන් හැකි අයුරින් තම තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු බව දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා සඳහන් කලේය.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
0 comments :
Post a Comment