හිටපු පෙරු ආඥාදායක ෆුජිමෝරි සිරෙන් නිදහස් - තවත් ‘ඩීල්‘ එකක්දැයි සැකයක්!

හිටපු පෙරු ආඥාදායක ෆුජිමෝරි සිරෙන් නිදහස් - තවත් ‘ඩීල්‘ එකක්දැයි සැකයක්!

මේ වන විට මෙම සමාව ලබාදීමට එරෙහිව පෙරු රාජ්‍යෙය් ලීමා අගනුවර උද්ඝෝෂණ පැවැත්වේ. ඔවුන් පවසන්නේ ද්‍රෝහියාට කිසි ලෙසකින් සමාවක් ලබානොදිය යුතු බවයි. කලහකාරීන් හා පොලිසිය අතර ගැටුම් ද හටගත් අතර උද්ඝෝෂකයන් පළවාහැරීම සදහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද සිදුවිය.

ඊයේ දිනයේ සමාව ලබන විට ෆුජිමෝරි මානව හිමිකම් උල්ලංඝනයන්ට වරදකරු වී ලීමා හි බන්ධනාගාරයක වසර 25 ක සිර දඬුවම් ලබමින් සිටියේය. නත්තල් දින සන්ධ්‍යාෙව් ඔහුට සමාව දී නිදහස් කරනු ලැබුවේ වත්මන් පෙරු ජනපති පෙඩ්‍රෝ පැබ්ලෝ කුසින්ස්කි විසිනි. හිටපු නායකයාගේ රෝගී තත්වය සලකා බලා මෙම නිදහස ලබාදුන් බව ඔහු කියා තිබේ.

ෆුජිමෝරි අතීතයේ නායකයා බවට පත්වන විට ඔහු ජනතා වීරයෙක් ලෙසින් ප්‍රසාදයට පාත්‍ර වී සිටියේය. ඒ, ෂයිනින් පාත් ගරිල්ලන් පරදවා රට එක්සත් කළ නායකයා වශයෙනි. එසේම පෙරු ආර්ථිකය දියුණු කිරීම සඳහා ද ඔහු කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය.

නමුත් දැඩි ඒකාධිපති ලක්ෂණ පෙන්වූ ෆුජිමෝරි, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සදහා හමුදා බලය යෙදවීය. අවසානයේ 2009 වසරේ පෙරු අධිකරණයක් විසින් බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ඔහු වරදකරු කර වසර 25ක සිර දඬුවම් නියම කළේය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුගේම පක්ෂය තුළින් පවා මේ වන විට ප්‍රබල විවේචන එල්ල වන අතර කොංග්‍රස් සභිකයන් තිදෙනෙක් දැනටමත් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මේ හේතුව නිසාම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බවයි. එසේම තමන් පක්ෂය මාරු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් දන්වා තිබේ.

පෙරු ජනපති මෙම සමාව ලබා දී තිබෙන්නේ දූෂණයක් මුල්කරගෙන ඔහුට විරුද්ධව ගෙන ආ දෝෂාභියෝගයක් පරාජය කිරීමෙන් සතියකට පසු ය. මෙම දූෂණ අපවාදය ලතින් ඇමරිකාවම සසල කළ සිද්ධියක් ලෙස සැලකිණි. මෙම දෝෂාභියෝගයට ඡන්දය පළ කිරීමෙන් වැළකී සිටි අය අතර ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ පුත්‍රයා වන කෙන්ජි ෆුජිමෝරි ය. ජනප්‍රිය බලය (Popular Force) යනුවෙන් ඔවුන්ගේ පක්ෂය හැඳින්වෙන අතර, හිටපු ජනාධිපතිට දිගින් දිගටම සහාය පළ කරන ෆුජිමෝරිවාදීන්ගෙන් එය සමන්විත නිසා ‘ෆුජිමෝරිස්ටාස්“ (Fujimoristas) යනුවෙන් ද එය හඳුන්වන අවස්ථා තිබේ.

මේ අනුව පෙරු ජනපති පෙද්රෝ පැබ්ලෝ කුසින්ස්කිගෙන් විරුද්ධවාදීන් අසන පැනය වන්නේ ඔහු විසින් ෆුජිමෝරි හට නිදහස ලබාදුන්නේ ෆුජිමෝරිවාදීන් සහ ඔහු අතර වූ යම් ‘ඩීල්“ එකක් නිසා ද යන්නයි. දෝෂාභියෝගයෙන් පෙද්රෝ පැබ්ලෝ බේරුණේ ෆුජිමෝරිස්ටාස්ලාගේ ඡන්ද 10 ක් අඩු වීම නිසා බව විචාරකයෝ පෙන්වා දෙති. මේ අනුව ෆුජිමෝරි සිරෙන් නිදහස් වීම පෙරු රාජ්‍යෙය් දේශපාලන අනාගතයට තීරණාත්මක බලපෑමක් කරන සිද්ධියක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. අන්තර්ජාලයේ පළවන ඇතැම් වාර්තාවකට අනුව ෆුජිමෝරි පෙරු රාජ්‍යෙය් මීළග ජනාධිපතිවරණයට තරග කිරීමට පවා ඉඩ තිබේ.

- අමාලි ජයවීර

outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment