යේසුස් වහන්සේගේ උ‍ත්පත්තිය සඳහා මරියතුමීගේ අනුමැතිය: නත්තල් ආවර්ජනාවක් - රුකී ප‍්‍රනාන්දු

යේසුස් වහන්සේගේ උ‍ත්පත්තිය සඳහා මරියතුමීගේ අනුමැතිය: නත්තල් ආවර්ජනාවක් - රුකී ප‍්‍රනාන්දු
ක‍්‍රිස්තියානි විශ්වාසයට අනුව, දෙවියන් වහන්සේ විසින්, ‘ගැලවුම්කාර’ යේසුස් ක‍්‍රිස්තුස්ගේ උත්පත්තිය සඳහා, වඩු කම්කරු පෙම්වතෙකු සිටි අවිවාහක තරුණියක්ව චේතනාන්විතව තෝරාගෙන ඇති බවක් පෙනේ. ක‍්‍රිස්තියානි සහ ක‍්‍රිස්තියානි නොවන මගේ ඇතැම් මිතුරියන් සමග මෑතකදී කරන ලද සාකච්ඡා තුළින්, මේ නත්තල් කතාවේ වෙනත් පැතිමානයක් දෙස බැලීමට මා තුළ උනන්දුවක් ඇති කෙළේය. එනම්, දරු ප්‍රසූතියක් සඳහා තිබිය යුතු මවකගේ අනුමැතිය පිළිබඳ කාරණයයි.
 
මේරිගේ කුස තුළ යේසුස් පිළිසිඳ ගන්නේ දෙවියන් වහන්සේගේ/දේවාත්මයේ අනුහසින් බව ක්‍රිස්තියානි විශ්වාසයයි. ලූක්ගේ බයිබල් කතාවට අනුව, යේසුස්ගේ උත්පත්තිය පැවරීමට මේරිව තෝරා ගන්නා දෙවියන් වහන්සේ, එ් ගැන ඈ සමග සාකච්ඡා කිරීම සඳහා ගේබ්‍රියල් නැමැති දේව දූතයෙකු ඈ වෙත යවා ඇත. තමා තුළ දරුවෙකු පිළිසිඳ ගනු ඇතැයි ගේබ්‍රියල් ඈට කී විට මේරි තිගැස්සුණු බව බයිබලය කියයි. ‘මං තාම කන්‍යාවියක් වෙද්දී, එහෙම දෙයක් කොහොම වෙන්නදැ?’යි ඈ විමසුවේලූ. ඊට සාවධානව කන් දුන් ගේබ්‍රියල්, දෙවියන් වහන්සේගේ අභිප‍්‍රාය පැහැදිළි කර දීම සඳහා අවශ්‍ය විවිධ තොරතුරු ඈට සපයා ඇති බව පෙනේ. එය ඇසීමෙන් අනතුරුව, දරුවා පිළිසිද ගැනීමටත්, දරුවා දැරීමට සහ වැදීමටත් අවශ්‍ය වාචික අනුමැතිය ඈ දී තිබේ.
 
මේ කාරණය සම්බන්ධයෙන් යම් වෙනස්කම් සහිත බයිබලයේ විවිධ අර්ථකථන සියල්ල පොදුවේ එකඟ වන එක කාරණයක් ඇති බව පෙනෙන්ට තිබේ. එනම්, දරුවා පිළිසිඳ ගැනීම මේරිගේ අනුමැතිය ලැබීමෙන් පසුව මිස, ඊට කලින් ඇති වු දෙයක් නොවන බවයි. එනම් පිළිසිඳ ගැනීම පිළිබඳ යෝජනාව භාර ගැනීමට හෝ නොගැනීමට මේරිට නිදහස තිබුණු බවයි. ගේබ්‍රියල් ගෙනා යෝජනාවට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මේරි ගත කළ කාලය විස්තර කෙරෙන්නේ, ‘ඇගේ පිළිතුර ලැබෙන තෙක් දේව දූතයන් නොඉවසිල්ලෙන් බලා සිටි’ කාලයක් වශයෙනි. ක්ලෙයාවෝ ශාන්ත බර්නාඩ් එය විස්තර කරන්නේ මෙසේ ය: ‘ඕ කන්‍යාවිය, ඔබ පුතෙකු පිළිසිඳ, වදන බව ඔබට ඇසුණේය. ඒ මනුෂ්‍යයෙකුගෙන් නොව, දේව ආත්මයෙන් බවත් ඔබට ඇසුණේය. දේවදූතයා ඔබේ පිළිතුර ලැබෙන තෙක් බලා සිටී. දැන් ඔහු තමාව ඔබ වෙත එවූ දෙවියන් වහන්සේ කරා ආපසු යා යුතුව ඇත. අප සිටින්නේත් ඔබේ පිළිතුර එන මග බලමිනි. අපේ ගැලවීමේ මිල ඔබට දන්වා තිබේ. ඊට ඔබ අනුමැතිය පෑ සැණින් අප විමුක්තිය උදා කර ගනු ඇත.’
 
බයිබලයේ අර්ථකථනය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ පිරිමියාගේ නොව, ගැහැනියගේ (මේරිගේ) අනුමැතියට යටත්ව පිළිසිඳ ගැනීම, දරු ගැබ දැරීම සහ දරු ප‍්‍රසූතිය යන සංසිද්ධීන් තුළින් තීරණාත්මක විපර්යාසයකට ලක්වන්නේ ගැහැනියගේ ජීවිතය බව දෙවියන් වහන්සේ පිළිගෙන ඇති බව පෙනේ. එදා සිටි පූජක පක්ෂයේ ප‍්‍රධානීන් සමග මේ ගැන කතිකා කොට නැත. එපමණක් නොව, මෙහි ප‍්‍රධාන පිරිමියා වන ජෝසප් සමග වුව එ් ගැන කතාබස් කොට නැත. තමාගේ නොවන දරුවකු දැරීමට මේරි අනුමැතිය පෑම නිසා ඇයව ‘අතහැර දැමීමට’ වරක් ජෝසප්  කල්පනා කළ බවත්, එහෙත් පසුව තවදුරටත් ඒ ගැන කල්පනා කිරීමෙන් අනතුරුව ඇය සමග වන සිය සබඳතාව දිගටම පවත්වාගෙන යාමට සහ මව සමග දරුවාව හදාවඩා ගැනීමට ජෝසප් තීරණය කළ බවත්, මගේ පල්ලියේ වර්තමාන නත්තල් අනුශාසනා තුළ දේශනා කෙරේ.
 
සමහර විට, මේ ඉල්ලීමට මේරි අනුමැතිය නොදුන්නේ නම් ඇති විය හැකි තත්වය කුමක් වේද යන්න, නත්තල් කතාවට අදාළ විද්වත් උනන්දුව මත, ඊටත් වඩා සමාජයටත්, විශේෂයෙන් ගැහැනියටත් එහි ඇති අදාළත්වය මත සලකා බලන කල, වැදගත් ප්‍රශ්නයකි. කිතුණුවන් අදහන, ප්‍රේමයේ යුක්ති ධර්මයේ දෙවි කෙනෙකු, මේරිගේ අභිමතයට පටහැනිව දරුවකු පිළිසිඳ ගැනීමට ඈට බල කරනු ඇත්ද?
 
දෙවියන් වහන්සේ, කොන්දේසි විරහිත නිදහස සහ වරණය ඇතුළුව, මිනිස් වර්ගයාට බොහෝ දෑ දානය කර ඇති බව කිතුණු විශ්වාසයයි. නත්තලට නිමිති වන, මිනිස් දරුවකු වශයෙන් වන යේසුස්ගේ උත්පත්තිය, කිතුණුවන්ගේ ගැලවීමේ කතාවේ කේන්ද්‍රීය සිද්ධියකි. නත්තල් කතාවට මූලික වන්නේ, තරුණ අවිවාහක කාන්තාවකට දරුවකු දැරීම සම්බන්ධයෙන් ඇති ශාරීරික ස්වාධීනත්වය පිළිගන්නා, ආදරණීය, ගෞරව සම්ප‍්‍රයුක්ත, පීතෘ-මූලික නොවන දෙවියන් වහන්සේ කෙනෙකු පිළිබඳ සහ ඒ සඳහා වන ඇගේ කොන්දේසි විරහිත අනුමැතියේ අවශ්‍යතාව පිළිබඳ කතාවකි.
 
2017 දෙසැම්බර් 25 වැනි දා ‘ග‍්‍රවුන්ඩ් වීව්ස්’ වෙබ් අඩවියේ පළවූ, රුකී ප‍්‍රනාන්දු ලියූ, ‘Mary's Consent for Jesus's Birth: A Christmas Reflection’ ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment