පහසුකම් නොමැතිකම නිසා හුදෙකලා වන දුෂ්කර ගම්මාන

පහසුකම් නොමැතිකම නිසා හුදෙකලා වන දුෂ්කර ගම්මාන
දැනට වසර පහළොවකට පෙර පවුල් තිහක් පමණ ජීවත්වී ඇති මෙම ගම්මානයේ ජනතාව මෙහි ඇති අතිදුෂ්කර බව හේතුවෙන් ක්‍රමයෙන් ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශවල පදිංචි වී තිබේ. ප්‍රවාහන ක්‍රමයක් නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් වන අතර ගම්මානයේ ජනතාවට ගමන් කිරීම පයින් ද භාණ්ඩ ප්‍රවාහනය ගවයන් බැදි තවලම් පිට සිදුකිරීමට සිදුව තිබුණි.
 
මෙම ගම්මානයට මාර්ග, පාසලක්, රෝහලක්, වෙළද සැල් වැනි යටිතල පහසුකම් නොමැති අතර ජනතාව එම පහසුකම් වෙනුවෙන් කිලෝමීටර් ගණනාවක් ගංගා තරණය කරමින් වනගත මාර්ග ඔස්සේ පයින් ගමන් කළ යුතුව ඇත. 
 
දන්දෙණිකුඹුර ග්‍රාමයේ සිට ගලමුදුන ගමට කිලෝමීටර් තුනක්, මීමුරේ ගමට කිලෝමීටර් පහක් සහ සුළුගුණේ ගම්මානයට කිලෝමීටර් අටක් පයින් ගමන් කළ යුතුවේ. සෑම මාර්ගයකදීම ජල පහරක් හමුවන අතර සුළුගුණේ ගම්මානයට යන විට හීන් ගග ද මීමුරේට ගමන් කරන විට දිවිගොල්ලේ ඔය ද තරණය කිරීමට ගම්වාසීන්ට සිදුව ඇත. 
 
හෙල්මළු ක්‍රමයට වගා කරන අක්කර සියයකට ආසන්න වෙල්යායකින් යුතු වූ දන්දෙණිකුඹුර ගම්මානයේ වෙල්යාය වසර පහළොවකින් වගා නොකිරීම නිසා මේ වන විට සම්පුර්ණයෙන් ම පුරන්වී කැලෑවෙන් වැසී යමින් පවතී. ගම්මානයේ තිහක් පමණ වූ නිවාස සියල්ලම විනාශවී නටඹුන් බවට පත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ එක් නිවාසයක් පමණි. ඒ දැනට එම ග්‍රාමයේ ජීවත් වන පාරම්පරික හෙළ වෙද මහතෙකු වන මහරගෙදර හීන්බණ්ඩා වෙද මහතාගේ නිවස වේ. 
 
"ගමේ කිසිම පහසුකමක් නැහැ. දරුවන් පාසලකට යවන්න කිලෝමීටර් පහක් පමණ පයින් යන්න ඕනි. මහ වැසි වැස දිවිගොල්ලේ ඔය, හීන් ගග උතුරන විට ගගෙන් යන්න බැරි නිසා  මාසයක් වුවත් වතුර අඩුවන තුරු  දරුවන් පාසල් නොගොස් නිවෙස්වලට වි සිටිනවා. ගග තරණය කිරීම සදහා ගස් අධාර කොට වැල් පාලම් සකස් කර තිබුණත් අද ඒ සියල්ල දිරාපත් වෙමින් තිබෙනවා. ගම්මානයේ සියල්ලන්ම ගම අත හැර මීමුරේ, සුළුගුණේ, ගලමුදුන, හෙට්ටිපොල ගොඩඋල්පත වැනි ගම්මානවල පදිංචියට ගියා. මම පමණයි ගමේ සිටින්නේ. 
 
නමුත් වෙදකම් කර ගැනීම සදහා මීමුරේ, ගලමුදුන, සුළුගුණේ වැනි ගම්මානවල ජනතාව මා සොයා පැමිණෙනවා. වන ගත දුෂ්කර මාර්ග ඔස්සේ රෝගීන්ට පැමිණිය නොහැකි අවස්ථාවලදී මම රෝගීන් වෙත ගොස් ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර සදහා මුදල් අය කරන්නේ නැහැ. මගේ අප්පච්චි කළෙත් වෙදකම. අද මම කරන්නේත් අප්පච්චිගෙන් උගත් වෙදකම. මගේ පුතුන් දෙදෙනා ද අද ඒ පාරම්පරික වෙදකම් කරනවා. පුතුන්  පදිංචිව ඉන්නේ මීමුරේ.  ඔවුන් සතියකට වරක් මා බලන්න දන්දෙණියට එනවා. 
රක්ෂිතයේ භාවනායෝගීව වැඩ වසන භික්ෂුණ් වහන්සේ සදහා දානය ලබාදීම මගේ ප්‍රධාන කාර්යයක්. සෑම දිනකම උදෑසන මා ඒ කාර්යය සිදුකරනවා. ඇතැම් අවස්ථාවලදී මමත් භාවනා කිරීම කරනවා.
 
අපේ අප්පච්චි, මුත්තා අදීන් ජීවත්වුණේ මෙම ගමේ. මම ජිවත්වන්නේත් මැරෙන්නේත් මේ ගමේ. ගම අතහැර යන්න මට අදහසක් නැහැ. නමුත් අද ගම කැලයෙන් යටවෙනවා. ගම වටේටම රක්ෂිත වනාන්තර. ගමේ කිසිදු කුඹුරක් අද අස්වද්දලා නැහැ. හේන් ගොවිතැන සිදුවන්නේ නැහැ. විහාරස්ථානය, බණ්ඩාර දෙවියන්ගේ දේවාලය අද ගරා වැටිලා. පැරණි නිවාස රැසක් සම්පූරණයෙන්ම විනාශවෙලා. කුඹුරු තිබුණු තැන් පමණක් අද ඉතිරිව තිබෙනවා. ගම්මානයේ සිටි මී ගවයන් අද කුළු ගවයන් බවට පත් වෙනවා. පොල් ගස් අලියන් පෙරළනවා. 
 
ගම දියුණු කිරීමට බලධාරීන් කිසිදු උත්සහයක් දරුවේ නැහැ. මහනුවර දිස්ත්‍රිකයත් මාතලේ දිස්ත්‍රිකයත් යා කළ හැකි මාර්ගයක් මේ ගම්මානය හරහා ආරම්භ කළ හැකියි. දැනටමත් කිවුල්වාඩියේ සිට බතලවත්ත දක්වා මාර්ගයක් කපා අවසන්. එම මාර්ගය මීමුරේ සිට බතලවත්තට සම්බන්ධ කර ඉදිකරන්නේ නම් ජනතාවගෙන් තොර වුණු දන්දෙණිකුඹුර ගම්මානය යළි ජනාවාස සහිත ගම්මානයක් බවට පත් කළ හැකියි. ගමෙන් ගිය පදිංචිකරුවන් යළි ගමට පැමිණෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
 
ඡන්දය ඉල්ලමින් දේශපාලඥයන් මේ ගමට ආවා. පොරොන්දු රැසක් අපට ලබා දුන්නා. නමුත් කිසිදු පොරොන්දුවක් ඉටු කළේ නැහැ. ඔවුන් යළි ගමට පැමිණියේත් නැහැ. ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය එනවා. එවිට දේශපාලඥයන් මා සොයා යළි දන්දෙණියකුඹුර ගමට පැමිණේවි.
 
බලධාරින්ගේ අවධානය නොමැති නිසා දන්දෙණියකුඹූර ගමේ ඉන්නේ මා පමණයි. මේ වන විට මේ ගම පමණක් නොව මීට නුදුරු ඉලුක්හේන, කැකලවත්ත ගම්මාන ද ජනශුන්‍ය ගම්මාන බවට පත්ව තිබෙනවා යැයි මහරගෙදර හීන්බණ්ඩා වෙද මහතා (70) ප්‍රකාශ කළේය.
 
නුවර නදීක දයා බණ්ඩාර 

 
dandeni 1
dandeni 2
dandeni 3
dandeni 4
dandeni 5
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment