‘එක යායක කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා'
පසන්ගෙ අත ගත්තෙ අනීතා. ඇය ජර්මන් යුවතියක්. වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක්. පසන් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. ආතක් පාතක් නැතුව ජර්මනියට ගොඩ බැහැපු පසන්ට සරණාගත රැකවරණ සැපයුවේ අනීතා. අන්තිමට ඒ රැකවරණය මුළු ජීවිතයටම හව්හරණක් වුනා. ඔවුන් දෙදෙනාම රස්සාව කරන්නෙ ලන්ඩන්වල. නමුත් බ්‍රෙක්සිට් එකෙන් පස්සෙ ඔවුන්ගෙ අනාගතය අවිනිශ්චිතයි.
‘එහෙම වුනොත් මම ජර්මනියෙ බින්න බහිනවා' කියල තමයි පසන් සහෝදරයා කියමින් ඉන්නෙ. මුහුණ පුරා වැඩුණු රැවුළයි බැඳපු කොන්ඩෙයි පසන්ට ගෙනාවෙ අමුතුම පෙනුමක්. රූපෙටම හරියන අදහස් තමයි පසන්ගෙ තියෙන්නෙ. ලංකාවෙ ඉන්න අවසාන මාක්ස්වාදීන් කීප දෙනාගෙන් එක්කෙනෙක්. ඔහුගෙ තියෙන විශේෂත්වය තමයි එම මතවාදයේම ඇලිල ගැලිල ඉන්නැතුව ඒක නව දේශපාලන ප්‍රවණතාවයන් එක්ක ගලපලා කටයුතු කිරීම. ඔහු පොතේ ගුරෙක් නෙමෙයි. නියම ප්‍රායෝගික මාක්ස්වාදියෙක්.
ලන්ඩන් පබ් එකේ පවත්වපු මධුපානෝත්සවයට පබ් එකේ යාව ජීව සාමාජිකයො හැමෝම වගේ ඇවිල්ලා හිටියා. ගාල්ලෙ අමරෙ අය්යා, විශ්‍රාමික දොස්තර ඇන්ඩෘ බර්නාඩ් හෙල කුමාර මහත්තයා, ජර්මනියේ රංජන් අය්යා, බීබීසී එකේ ප්‍රියන්ත, සංදේශයේ සරා මල්ලි, නෙළුම් අජ්ජා, අවුල්නාද මහත්තයා, මේ හැමෝම හිටියා. ඊට අමතරව ලංකාවෙ පන්සල් කීපයක හාමුදුරුවරු කීප දෙනෙකුත් වැඩම කරලා තිබ්බා. දොස්තර හෙල කුමාර මහත්තයාට ඒ වැඩේ එච්චර ඇල්ලුවෙ නෑ. අවුරුදු 40 ක් 50 ක් ලන්ඩනයේ ජීවත් වුනාට හෙල කුමාර හොඳ සිංහල බෞද්ධයා. හාමුදුරුවරු දැක්ක ගමන් මිනිහා ඇහුවෙ
‘ මේ කසාවතට පබ් අකපැයි නේද?' කියලා. ඒකට උත්තර දුන්නෙ බීබීසී එකේ ප්‍රියන්ත. ‘කරන මඟුලක් හැංගිලා කරන්නැතුව එළිපිට කරහම මොනව වෙනවද? ඇයි හාමුදුරුවරුන්ට පබ් එන්න බැරි? පබ් එක කියන්නෙ ඉංග්‍රීසි සංස්කෘතියෙ ප්‍රභලම අංගයක්. මිනිස්සු අඩි ගහන්න විතරක්ම නෙමෙයි පබ් එන්නෙ, සමාජ සේවනයට. එංගලන්තෙ කොච්චර නොබොන මිනිස්සු පබ් එනවද? ඉතිං බෞද්ධ භික්ෂූන් වහන්සේලා ආපුවහම ඇති වැරැද්ද මොකක්ද? ලංකාවෙ හාමුදුරුවරුන්ගෙන් බාගෙට බාගයක් හොඳට කන බොන උදවිය. එච්චර ආතල් ගිහියො වෙන අපිවත් ගන්නෑ. දූෂණ නඩුවක වැරදි කාරයා වෙලා එංගලන්තෙ හිරේ ගියෙත් ලංකාවෙ හාමුදුරුකෙනෙක් නේද? එහෙව් එකේ පබ් එක බුද්ධ පුත්‍රයින් වහන්සේලාට අකපැයි කියන්නෙ කොහොමද?
මේ කතාව සිද්ධ වුනේ වැඩම කරල හිටපු හාමුදුරුවරු ඉස්සරහම නිසා උන් වහන්සේලාත් කථාවට එක්වුනා.
‘නෑ අපේ මහත්තයො, පබ් එක අපට අකැප තැනක් නෙමෙයි. ප්‍රියන්ත මහත්තයා කිව්වා වගේ එංගලන්තෙ ඇතුළෙ ජීවිතය ගැන තේරුම් ගන්න හොඳම තැන තමයි මේ පබ් එක කියන්නෙ. බොරු කියන්න ඕන් නෑ මාත් ඉදල හිටලා බියර් එකක් කාරිය ගහනවා. හැබැයි පුංචි කාලෙ ඉදලම මස් මාළු නම් කන්නෑ. ඒ පව් පිං ගැනනම් හිතල නෙමෙයි. තවත් සතෙක්ගෙ දෙයක් මගේ බඩ ඇතුළට දාගෙන බඩ කනත්තක් කර ගන්න ඕන් නැති නිසා. මම හැම දෙයක් දිහාම බොහොම විවෘතව බලන හිතන පතන කෙනෙක්. එහෙම අයට සාසනය තුළ කෙටි කාලීන පැවැත්මක් තියෙන්නෙ. මං විදිහටම හිතපු පතපු ගොඩක් හාමුදුරුවරු අන්තිමට නැවතුනේ ගිහි ගෙයි. කොටුවෙන් පිට හිතන අයට බුද්ධාගම තුළ කිසිම පැවැත්මක් නැහැ. බුද්ධාගමයි බුදු දහමයි කියන්නෙ සම්පූර්ණයෙන්ම මාර්ග දෙකක්. බුද්ධාගම කියන්නෙ තනිකරම බිස්නස් එකක්. ඒක ඇතුළෙ විකුණන්නෙ නිවන කියන දේ. නිවන කියන එක තරම් මාකට් කරන්න පුළුවන් කිසිම බඩුවක් මාකට් එකේ හොයා ගන්න බැහැ. මම එංගලන්තෙ ආවෙත් නිවන මාකට් කරන්න. ඒක ඇතුළෙ තියෙන අනිත් ඒවා තමයි දාන ශීල භාවනා කියන ඒවා. ඒතුන වැඩියෙන් කරපු තරමට තමයි නිවන් යන්න පුළුවන් කියන එක පට්ට කෙබරයක්. බුදුහාමුදුරුවො නිවන කියන එක සාක්ෂාත් කර ගත්තෙ දාන ශීල භාවනා කරලා නෙමෙයි, සිත අතෑරලා තමයි උන් වහන්සෙ බුද්ධත්වයට පත්වුනේ. අපි මේ සිවුරක් ඇඟේ දාගෙන කරන්නෙ මහා ප්‍රෝඩාවක්' තෝරදෙණියේ රාහුළ හාමුදුරුවන්ගෙ කතාවට හැමෝගෙම ඇස් උඩ ඉන්දුනා. විශේෂයෙන්ම දොස්තර ඇන්ඩෘ බර්නාඩ් හෙළ කුමාර.
‘මට තේරෙන්නෑ අපේ හාමුදුරුවො මොනවද මේ කියන්නෙ කියල? ඔබ වහන්සෙ දැනුත් පයින්ට් එකක් දෙකක් ගහලද ඉන්නෙ? බුදු හාමුදුරුවො සාරා සංක කල්ප ලක්ෂයයක් පෙරුම් පුරලා දන් දීලා සිල් රැකලා බණ භාවනා කරලා තමයි අවසාන උත්පත්තියෙදි ලොව්තුරු බුද්ධත්වයට පත්වුනේ. උන් වහන්සෙ තමුන්ගෙ අඹුදරුවො පවා දන් දුන්න උත්තමයෙක්' කියල දොස්තර හෙල කුමාරට ඉවර කරන්න උන්නෑ නෙළුම් අජ්ජා කතාවට පැන්නා.
‘හොඳ වෙලාවට ඒ කාලෙ ඉන්දියාවෙ කාන්තා හා ළමා කාර්යංශයක් නොතිබ්බෙ. තිබ්බනම් සිරිසඟ බෝ රජ්ජුරුවන්ට ගෘහස්ථ හිංසනය හා ළමා අයිතිවාසිකම් යටතෙ නඩු දානවා. මතු බුදු වෙන්න ජූජක බමුණට ගෑනිවයි ළමයිවයි දන් දෙන්න ඕනෙද? ඕවා සේරම මිත්‍යා කතා. බුද්ධ චරිතයට හුණු ගාන්න ගිහිල්ලා ගාල තියෙන්නෙ තාර. ඕකට තමයි කියන්නෙ පුරාණ කාල අටුවාචාරීන් ශ්‍රද්ධාවෙන් අන්ධ වෙනවා කියලා. ගුත්තිලය ලියන්න ගිහිල්ලා වෑත්තෑවෙ හාමුදුරුවන්ට වුනෙත් ඕක. හරියට යථාර්තවාදීව විග්‍රහ කරලා බැලුවොත් බුද්ධ චරිතය කෙලෙසීමක් තමයි මේ තැන්වලදි වෙලා තියෙන්නෙ'
‘මිත්‍යා දෘෂ්ඨිකයො කියන්නෙ උඹළට. අවුරුදු 2600 ක් බුදු දහම රැකුනෙ බුද්ධාගම නිසා. මේවා පැහැදිලි විදිහටම බුද්ධාගමට එරෙහි අන්තර්ජාතික කුමන්ත්‍රණ. නැත්තන් මේ කසාවත් ඇඳගෙන වැඩම කරන්න සුදුසු තැන්ද මේ පබ් වගේ තැන්' එහෙම කිව්වෙ තවත් සිංහල බෞද්ධකම මහ ඉහලින් අගයන ගාල්ලෙ අමරෙ අයියා. රාහුල හාමුදුරුවො නැවතත් කට හඬ අවදිකලා.
‘ තරහ ගන්න එපා අපේ මහත්තයලා නිවන අවබෝධකර ගන්න අඹු දරුවො දන් දෙන්න ඕන් නෑ. අජිත් මහත්තයා කිව්වා වගේ අද එහෙම කරා නම් පිය රජතුමාට ඉන්න වෙන්නෙ හිරේ. පුරාණෙ භාරතේට වැඩිය අද ලෝකය ශිෂ්ඨාචාර සම්පන්නයි. ඇත්තටම මහත්වරුනේ බුද්ධාගමෙන් කරේ නිවනට මග අහුරපු එක. නිවන කියන කැරට් අලේ කන්න හිතාගෙන අසරණ බෞද්ධ උපාසක උපාසිකාවො දාන සීල භාවනා කරේ ගහගෙන දුවල දුවල හති වැටිලා මැරිලා යනවා. බුදු හාමුදුරුවො ‘පුඤ්ඤ පාප පහීනස්ස ' ඒ කියන්නෙ පිං කරන්නත් එපා පව් කරන්නත් එපා කියල ධම්මපදයේ කියන්නෙ ඕක තමයි. පිං දහම් කරන්න කරන්න සිද්ධ වෙන්නෙ සංසාරෙ තව තවත් දික් වෙන එක. බුදු දහම කියන්නෙ ‘කිං සච්ච ගවේසී' එහෙමත් නැත්තන් සත්‍ය ගවේෂණය කරමින් යන චාරිකාවක්. ‘ කිං කුසළ ගවේසී' කියන්නෙ පිං වැඩි දියුණු කරමින් යන චාරිකාවක්. ඒක තමයි හින්දු ආගමේ කියන්නෙ. නිවන කියන්නෙ මේ දැන් දැකිය හැකි දෙයක්. ඒකට තමයි බුදුන් කිව්වෙ සන්දිට්ටිකෝ කියල. වර්තමාන බුද්ධ පුත්‍රයන් වහන්සේලා වන අපත් උතුම් පරමාර්ථයට වඩා උදරාර්ථය ගැන තමයි හිතන්නෙ'
‘ ඔබ වහන්සෙ ඔය බන කියන්න ගිහිල්ලා නේද මෙහේ ඉන්න පන්සලෙනුත් එලෙව්වෙ? පන්සලේ දායක සභාව දැන් ඔබ වහන්සේගෙ වීසා කැන්සල් කරන්න කියල හෝම් ඔෆීස් එකටත් ලියලලු නේද? එහෙම ඇහුවෙ සරා මල්ලි. ඔහුගෙ ප්‍රශ්නයෙන් අහන් හිටපු අනෙක් අය සසළ වුනත් රාහුල හාමුදුරුවන්ගෙ මූණෙ කිසිම වෙනසක් තිබුණෙ නෑ. ඒ වෙනුවට උන් වහන්සෙගෙ තිබුනෙ උපේක්ෂා සහගත පෙනුමක්.
‘ ඔව් ඒක ඇත්ත මහත්තයො. මගේ මේ බණ කාටවත් අල්ලන්නෑ. මං කැම්පස් යන කාලෙ ඉදලම හොයලා බැලුවා ඇයි මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සෙ මහරහතන් වහන්සේලා ලංකාවෙ බිහි නොවුනෙ කියල. අපිට කැම්පස් එකේ ලෙක්චර් කරපු මහාචාර්ය විමල් විජේරත්න තමයි ඒකට මට උත්තරේ හොයලා දුන්නෙ. එතුමා දැන් ඉන්නෙ කැනඩාවෙ. එතුමා කිව්වෙ බුද්ධ පරිනිර්වාණෙන් අවුරුදු පන්සීයකට විතර පස්සෙ බුදුන් වදාළ ධර්මය අතුරුදන් වුනා කියලා. බුදුන් වහන්සෙ ආනි සූත්‍ර යේ ඒ බව පැහැදිලිවම කියල තියෙනවා. මං මේ කියන හැම දෙයක්ම මගේ දීර්ඝ පර්යේෂණවල ප්‍රතිඵල. ඒවා ශ්‍රද්ධාවෙන් අන්ධ වෙලා ඉන්න උපාසක උපාසිකාවන්ට කියල දෙන්න ගිහිල්ලා අද මට යන එන මං නැති වෙලා ඉන්නෙ. යාළුවෙක් මට කාමරයක් දීලා තියෙනවා නැවතිලා ඉන්න. මං ජීවත් වෙන්න ටැක්සි එළවනවා. රෑට පෙට්‍රල් ෂෙඩ් එහෙක ටිල් ඔපරේටර් කෙනෙක් වගේ ඉන්නවා. හෙට අනිද්දාම හෝම් ඔෆීස් එකෙන් මගේ වීසා කැන්සල් කලොත් මම ආයි ලංකාවට යනවා. මම ලංකාවට යන්නෙ තෝරදෙනියේ රාහුල විදිහට නෙමෙයි. ඉමර්ජන්සි පාස් පෝට් එකක් අරන් රාහුල තෝරදෙනිය විදියට. මට ආයිත් පන්සල්වලට වෙලා බොරු කරන්ඩ බැ. මං මගේ පර්යේෂණ දිගටම කරනවා. ඒකට මට සිවුර බාධාවක්. සිවුරෙ අයට මාව බාධාවක්. මට ඒ අයත් එක්ක ගැටෙන්න ඕන් නෑ. ඒ අයගෙ බිස්නස් ඒ අය කරපුවාවෙ. මං මගේ පාඩුවෙ මගේ වැඩේ කරන් ඉන්නවා'
‘ ඔව් ඔව් එ්ක සාසනේටම කරන යහපතක්. පුළුවන් ඉක්මනට සිවුර අරින එක තමයි ඔබ වහන්සේට කරන්න පුළුවන් ලොකුම පිංකම. එතකොට සිවුරයි පඬු හැලියයි දෙකම ආරක්ෂා වෙයි ' එහෙම කිව්වෙ අමරෙ අය්යා. අමරෙ අය්යලාට දොස්තර හෙලකුමාරලට මොනව දුන්නත් මොලේ දෙන්න අමාරුයි කියන එක බාර් මෑන්ට හොදින් තේරුම් ගියා. ඔවුන් තවදුරටත් තමන්ගෙ තර්කය සනාථ කරමින් කතා කරන්න පටන් ගත්තා.
‘කසාවතින් රට බබළනවා සත්තයි ' කියල තමයි අපේ ජාතික හෙළ උරුමය දේශපාලන ගමන ආරම්භ කලේ. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ ඒ සඳහා අභීත නායකත්වය සැපයුවේ පාඨලී චම්පික රණවකයාණන්. ඇයි රනිල් උන්නැහේ මෙගා පොලිස් වගේ මහා අමාත්‍යංශයක් අපේ නායකයට බාර කලේ. රනිල් දන්නවා එයාගෙ කැබිනට් එකේ ඉන්න නියම වැඩ කාරයා චම්පික රණවක කියලා. නියම මහ කළු සිංහලයෙක්. රටේ කවුරු ආණ්ඩු කළත් චම්පිකයි එයාගෙ කණ්ඩායමයි හලන්ඩ කාටවත් බෑ. මීළඟට රටේ ඉහළම පුටුවට පත්විය යුතු එකම තැනැත්තා චම්පික රණවක මිසක් වෙන කවුරුත් නෙමෙයි. 21 වන සියවසේ ජීවත්වන එකම දේශපාලඥයා තමයි චම්පික. කොටින් පරාජය කරන්න මහින්ද රාජපක්ෂට චම්පික දුන්නෙ මාර සපෝට් එකක්. ගුණදාස අමරසේකර නලීන්ද සිල්වා වගේ මහා ප්‍රාඥයන් දසක ගණනාවක් පුරා හීන දැකපු ගැමි උගත් තරුණ පරපුරේ සංකේතය තමයි චම්පික රණවක. රන් රසේ එක්වන ලෙසේ කියල ජාතිකත්වය ගැන මහා පොත් ලියපු කරුණාරත්න පරණවිතාන උන්නැහෙත් හෙළ උරුමයට ආපු එක ගැන සිංහල බෞද්ධ ජනතාව ඉමහත් සතුටට පත්විය යුතුයි. කොටින්ව පරාජය කරපු දේශප්‍රේමී රණවිරුවො හොදාකාරවම දන්නවා තමන්ට එක් රොක් වෙන්න පුළුවන් ඊළඟ නායකයා චම්පික රණවක කියලා' අමරෙ අයියා තොර තෝංචියක් නැතුව කියෝනවා.
‘ එහෙම කියන්න එපා මහින්ද රාජපක්ෂ මහත්තයත් තාම ජීවත් වෙනවා. ගෝඨාභය මහත්තයත් ඉන්නවා. අනික රණවිරුවන් දිවි හිමියෙන් සුරකින බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමත් ස්ටේජ් එකක් ස්ටේජ් එකක් ගානෙ රට වටේ කියවමින් යනවා. ඊළඟ මහා සිංහල බෞද්ධ නායකකමට විශාල තරඟයක් දැන් තියෙන්නෙ' එහෙම කිව්වෙ ප්‍රියන්ත.
‘මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එදා රණවිරුවො හිටියෙත් නෑ. අද රණ විරුවො ඉන්නෙත් නෑ. හෙට රණවිරුවො ඇත්තෙත් නෑ. ඒ මහත්තයා කොච්චර කෑගැහුවත් රණ විරුවන්ව රාජපක්ෂලා චම්පිකලා සින්නක්කරේ ලියාගෙන ඉවරයි. මෛත්‍රීපාල මහත්තයට තියෙන්නෙ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍ර යෝජනයට අරගෙන දකුණු අප්‍රිකාවෙ වගේ සත්‍ය කොමිසමක් පිහිටවලා සිද්ධවෙච්ච දේ මොකක්ද කියල අපක්ෂපාතීව හොයලා බලන එක. එහෙම කලොත් එතුමගෙ නම ඉතිහාසෙට එක් වේවි. නැතුව අනිත් අය වගේ රණවිරු වන්දනාවෙ ගියොත් අනිත් අයට සිද්ධ වෙච්ච දේම තමයි එතුමටත් වෙන්නෙ' එහෙම කියමින් කතාවට සම්බන්ධ වුනේ ජර්මනියෙ රංජන් අය්යා.
‘ ඒක කවදාකවත් සිද්ද වෙන්නෑ. යුද්දෙ නාමෙන් පහුගිය කාලෙ මිනී මරපු මංකොල්ලකාපු තක්කඩියන්වත් මෛත්‍රීපාල උන්නැහේ හුරතල් කරන්න පටන් අරන්. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ප්‍රධාන බාධකය තමයි මෛත්‍රීපාල උන්නැහේ. තක්කඩියො කවුද රණවිරුවො කවුද කියල තේරුම් බේරුම් කර ගන්න බැරිනම් එතුමට අත්වෙන්නෙ රාජපක්ෂලගෙ ඉරණමම තමයි' පළමු වතාවට අපේ මනමාල මහත්තයා පසන් ජයතිලක සහෝදරයා කතාවට සම්බන්ධ වුනා.
‘ ඒකට මූලික හේතුව තමයි ත්‍රෛයි නිකායික මහානායක වහන්සේලා, ජනාධිපතිතුමාට කරන බලපෑම. බුද්ධාගමයි රජයයි ගහට පොත්ත වගේ. ජාතිවාදයෙන් අන්ධ වෙච්ච හාමුදුරුවරු ඉන්නකම් රජයට හරි තීරණයක් ගන්න බැහැ. ඕකෙ මූලික වග උත්තරකාරයා අධීනීතිඥ කොල්වින් ආර්. ද සිල්වා. ඒ මහත්තයා තමයි ආගමයි රාජ්‍යයි එකට යා කලේ. ඒක පනස් හයේ බණ්ඩාරනායක සිංහල පමණයි පනත ගෙනැල්ලා කරපු විනාශයට වැඩිය ලොකු විනාශයක් කරපු දෙයක්' නැවතත් රංජන් අය්යා කටහඬ අවදි කළා.
මෙතෙක් වෙලා නිහඬ මුවෙන් වදාරමින් සිටි රාහුල හාමුදුරුවො
‘හරියට හරි මහත්තයො. පනස් හයටත් වඩා අපට වැරදුනේ 72 දි. බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය දුන්න එක. බුද්ධාගමේ පැවැත්මට රාජ්‍ය අනුග්‍රහය ඕන වුනාට බුදු දහමට කාගෙවත් අත්වාරුවක් අවශ්‍ය නෑ. ඒක හේතුඵල දහමක්. බුද්ධාගමේ යතිවරුන්ගෙන් වැඩි දෙනෙක් කාමසුකල්ලිකානු යෝගයේ ගිලී නැහැවෙන උදවිය. ඒ අයට දේශපාලන බලය අවශ්‍යයි. බලලෝභී දේශපාලඥයන්ට බුද්ධාගමේ යතිවරු අවශ්‍යයි. මොකද දෙගොල්ලොම කරන්නෙ ජනතාව මුලාකරන එක. ඔය සත්‍ය හරියට තේරුම් ගන්න කම් අපේ රටට ගැලවීමක් නෑ. බලලෝභී දේශපාලඥයො විකුණන්නෙ රණවිරුවනුයි හාමුදුරුවරුයි. සිංහල බෞද්ධයා කියන එකම මිත්‍යාවක්. සැබෑ බෞද්ධයෙක් කියන්නෙ විශ්වීය මිනිසෙක්. ඔහුට තියෙන්නෙ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. ඕක නොතේරුම් ගන්නා තාක්කල් අපට නිවන ගොඩක් දුරයි' කියමින් තම ගමන් මල්ලද රැගෙන පබ් එකෙන් පිටතට වැඩම කළා.
ඒ වගත් එසේමයි
ලන්ඩන් පබ් එකේ සිට සයිබර් අවකාශයට වාර්තා කළේ
බාර් මෑන් විසිනි.
පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා එක්වන්න
barman@london-pub.net
පෙර පුවත්
සේනානායක බණ්ඩාරනායක හා බෝතලේ භූතයා
0 comments :
Post a Comment