'ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට රටට ඇතුළු වෙන්න බෑ' - සාගල


ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ශ්‍රීලංකාවට ඇතුළුවීම වැළැක්වීමට විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ජාත්‍යන්තර පොලීසිය (Interpol) මගින් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ශ්‍රීලංකාවට ඇතුළුවීම වැළැක්වීමට විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කර තියෙනවා. මේ යාන්ත්‍රණයට ජාත්‍යන්තර පොලීසියේ ද සහයෝගය ඇතිව ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා ක්‍රියාත්මක කරනවා.

දැනට සෘජු තර්ජනයක් අපේ රටට ඇතිවෙලා නොතිබුණත් දකුණු ආසියානු වගේම ආසියාවේ අනෙකුත් කලාපවලට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර දිහා බැලුවාම අපිට අත්දෙක බැඳගෙන බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා තමයි අපි මේ පියවර කලින්ම ගන්න කටයුතු කළේ.

ඒ වගේම ලංකාවේ ආගමන විගමන පද්ධතිය ජාත්‍යන්තර පොලීසියේ දත්ත ගබඩාව එක්ක දැනටමත් සම්බන්ධ කර තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති කිසිදු ත්‍රස්තවාදියෙකුට ලංකාවට ඇතුළු වෙන්න බැහැ. එසේ ඇතුළු වුවහොත් ඒ මොහොතේම අදාළ අංශ ක්‍රියාත්මක වෙලා ලංකාවේ නීතියට අනුව කටයුතු කරනවා." යැයි ද පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment