දල පූට්ටුවා සහ සුලිසුලං

දල පූට්ටුවා සහ සුලිසුලං
බට තුවක්කුවකින් වැදුනු වෙඩිල්ලෙන් එක ඇහැක් අන්ධව ගිය නිසාම මිනිසුන් මඟ හරින නුවනැත්තෙකු බව ද දනිමි..
 
ආදරයට සීමා නැතැයි සනාථ කරමින් මේ පොට්ටයාට පන දී ආදරය කල කෙල්ලක ඔහු පස්සේම වැටී සිටි බව දනිමි..
 
කිහිප විටකදීම ඇත් දල යුගල නිසාම වෙඩි කෑ අසරණයකු බව දනිමි..
 
දල පූට්ටුවා තරම්වත් නොදන්නා ඇතුන්, අලීන්, අලි පොඩ්ඩන් මේ රටේ සතර දිබ්බාගේ මරන බව දනිමි, හක්ක පටස්, බට උණ්ඩ වැදී විඳවන බව දනිමි. විදුලි වැටෙ ඇමිණී, වගා ලිංවල වැටී, දුම්‍ රියේ හැපී, පොලිතීන් කැවී මිය යන බව දනිමි..
 
අලීන්, ඇතුන් යනු මෙරට ස්වභාව සෞන්දර්‍යයට ආවේණික වූ, සංස්කෘතික මෙහෙයක් කලා වූ, වඳ වීමෙ තර්ජනයට ලක් වූ සත්ත්ව කොට්ඨාශයක යැයි දනිමි. ඒ වඳ වීමට මූලික හේතුව වූයේ මිනිසා බව දනිමි. සෘජුව හෝ අනියමාර්තයෙන් ඔවුන් සමූල ඝාතනය කෙරුවන් අප වග දනිමි. ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන උඳුරා ගත් තැන පටන්, විනෝද ගමනේදී ඉවතලූ පොලිතීන් කැබැල්ලේ පටන්, වෙඩි තැබීම දක්වා අප වග කිව යුතු බව දනිමි.. මොවුන්ට ඇත්තේ ආගමික වටිනාකම පමණක්ම නොවන වග දනිමි..
 
දලපූට්ටුවා මැරූ වග මිහිමව දත්තේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල මෙහෙයුමෙන් මල කුණ සොයා ගත් පසුව යැයි නොසිතමි. මිහිමව කම්පා වූවානම් කම්පා වන්නේ ඔහු මරා දැමූ ඔක්තෝම්බරයේ බව සිතමි.
 
මිහිමව සුළිසුලඟකින් දඬුවම් දුන්නා යැයි පලි ගසා අත පිස දා ගැනීමෙ අයිතියක් නැති බව සිතමි. එසේ වූවානම් විය යුත්තේ හේරත්ගම ගමරාල සහ පොලිස් රාලගෙ නිවෙස් අවට බව සිතමි.
 
ගෙම්බන්, පනුවන් පවා කන රටක පැන්ඩාවන් රකින බව දනිමි.. දැන්වත් ජාතික ප්‍රතිපත්තියක් ඇතිකොට මේ සතුන් රැක ගැන්මට ක්‍රමවේදයක් තැනිය යුතු බව සිතමි. මරුවන්ට දඬුවම් ද, සද්ධන්තයන් රැක්මට ව්‍යාපෘති ද උවමනා බව සිතමි. එක් එකාගෙ ජාන දත්ත සමඟ, සැරිසරන ඉසව් පිලිබඳ දත්ත ගැන්මට සෙන්සර සවි කිරීම අත්‍යාවශ්‍ය බැව් සිතමි. පරිපාලනයේ විනිවිදභාවය උවමනා බව සිතමි.. දැනුවත් ජනතාවක් අත්‍යාවශ්‍ය බැව් සිතමි..
 
කුකුලා, අලියෙකු නොවන්නේ යම් සේ ද, ප්‍රාණය, වර්ගයක පැවැත්ම නොවන්නේය. දැන් මේ ඇත්තේ ප්‍රාණ ඝාතයෙන් නොනැවතුණු වර්ගයක් පොලොවෙන් අතු ගා දැමීමෙ පාපයක පෙර නිමිතියෝයි තැවෙමි!
-ප්‍රාර්ථනා ඇම්. ඇල්.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment