පච්ච කෙටූ හිම මිනිසා- ''ඕට්සි'' ට පණ එයි!

පච්ච කෙටූ හිම මිනිසා- ''ඕට්සි'' ට පණ එයි!

1991 වසරේ ඕට්සිගේ මමිය මුලින්ම හමුවන්නේ ජර්මනියේ ඕට්සාල් ඇල්ප්ස් කඳුකරයේ දකුණුදිග ටිරෝලයට ඔබ්බෙන් පිහිටා තිබෙන ග්ලැසියරයකිනි. එය සොයාගත්තේ එහි සංචාරයේ යෙදුණු ජර්මානු යුවළක් විසිනි. පසුව සොයාගැනුණේ මෙම මමිය වසර 5300 ක් පැරණි බවයි. ඒ අනුව ඕට්සි යනු ඉතිහාසයේ මෙතෙක් සොයාගත් පැරණිතම මානව මමිය වශයෙන් වාර්තා පොත්වලට එක් විය.

ඕටිසිගේ මළ සිරුරේ සම ඇතුළු විවිධ ඉන්ද්‍රියන් වැසී තිබුණේ ටැටූස් හෙවත් පච්චා 60 කිනි.

මානව ඉතිහාසයේ සිදුකළ වැදගත්ම සොයාගැනීමක් වශයෙන් සැලකෙන ඕට්සි හිම මිනිසාගේ උදරයේ ඉතිරි වි තිබූ කෑම කොටස්වල සිට ඔහුගේ පාදයේ නිය දක්වා හැම දෙයක්ම අදටත් විද්‍යාඥයන් විසින් අති මහත් උනන්දුවෙන් යුතුව පරීක්ෂා කර බලන්නේ මානව ඉතිහාසයේ සහ මානව පරිණාමයේ කාලයෙන් සඟවා දැමූ රහස් හෙළිදරව් කර ගැනීම සඳහා ය.

දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව ගල් යුගයේ විසූ, දඩයම සිය එකම දිවි රැක ගන්නා මග වශයෙන් දැන සිටි ඕට්සි වම් උරහිසේ එල්ලාගත් පැසක නිතරම ඊතල ගෙන ගියේය. අවසානයේ ඔහු මිය යන්නේ ඊතලයක් වැදි, බිම ඇද වැටී, හිස ගලක වැදීම නිසා ය. නමුත් එසේ සිදුවූයේ කෙසේද යන්න අබිරහසක් වන අතර, ඔහුව කිසිවෙකු විසින් මරා දැමුවා වන්නට ද පුළුවන.

වසරකට ලක්ෂ 3 ක් පමණ සංචාරකයෝ ඔහුගේ මමිය දැක බලාගැනීම සඳහා උතුරුදිග ඉතාලියේ පිහිටා තිබෙන කඳුකරබද බොල්සානෝ කෞතුකාගාරය වෙත ඇදී එති. එහි ඔහු ජීවත් වූ පරිසරයටම උචිත ශීත කුටීරයක ඔහුගේ මමිය සතපවා තිබේ.

ඕට්සි පිළිබඳ හෙළිදරව් වී ඇති පැහැදිලි තොරතුරු සම්භාරය ජර්මානු චිත්‍රපට නිර්මාණකරු ෆෙලික්ස් රැන්ඩේයුගේ අවධානය දිනාගැනීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ ඔහු විසින් මෙම පච්ච කෙටූ හිම මිනිසාගේ ජීවිතය චිත්‍රපටයකට නැගීමට තීරණය කිරීමයි. ජර්මනිය, ඉතාලිය සහ ඔස්ට්‍රියාව යන රටවල සහයෝගයෙන් මෙය බැවේරියානු කඳුකරය, දකුණු දිග ටිරෝලය සහ කරින්තියාවේ රූගත කෙරිණි. “ඕට්සි කියන්නෙ පුරාණෝකිතිගත මහිමයක්. ආශ්චර්යයක්.” යැයි මෙම නිර්මාණකරුවා කියයි. චිත්‍රපටයේ ඕට්සිගේ චරිතයට පණ පොවන්නේ ජර්මානු නළු ජූර්ගන් වොගල් විසිනි. පූර්ව රෝමානු සහ රෝමානු යුගයේ නැගෙනහිර ඇල්ප්ස් කඳුකරයේ භාවිතා වූ රයටික් භාෂාවෙන් මෙහිදී පච්ච කෙටූ හිම මිනිසා කතා කරයි. නමුත් ඒ බසට පරිවර්තනයක් චිත්‍රපටයේදී සැපයෙන්නේ නැත. එනයින් මෙය නරඹා වටහාගත යුතු නිර්මාණයක් වනු ඇත.

ඕට්සි ව ‘කෙලාබ්’ යනුවෙන් ද හඳුන්වන නිසා මෙම නිර්මාණයේදී ඔහුගේ නම කෙලාබ් ය. කෙලාබ් එළුවන් සහ ඌරන් පිරිවරාගෙන ජීවත් වෙයි. උණුසුම සඳහා සත්ව ලෝම අඳියි. සොබාදහමේ බලවේගයන් සහ මිනිස් සතුරන්ගෙන් තම පවුල රැක ගැනීම සඳහා ඔහු උපද්‍රව බහුල භූමි තරණය කරමින් ඇවිද යයි. විවිධ ඇදහිලි ක්‍රමවලින් ද ඔහුගේ කුඩා සංස්කෘතිය පොහොසත් ය.

බොල්සානෝ කෞතුකාගාරයේ තබා තිබෙන ඕට්සිගේ මමියේ ආයුකාලය දිනෙන් දින අඩු වෙයි. මේ වන විට ඔහුගේ බර කිලෝ 13 ක් පමණි. ඉයුෆෝරියා තත්වයෙන් ද මේ මමිය පීඩා විඳින බව කියයි. ඕටිසිගේ මමිය ‘ජීවත් කරවීම’ සඳහා අවශ්‍ය තෙතමනය රඳවා ගැනීම නූතන ලෝකයට අභියෝගයකි. ඕට්සි දිනෙන් දින වියළී යමින් සිටින අතර, ඔහුගේ බර මේ අනුව දිනකට ග්‍රෑම් 2 බැගින් අඩු වී යන බව සොයාගෙන තිබේ. එනයින් බලනකල ඕට්සිගේ මමියට තව ඉතිරිව තිබෙන්නේ සීමා සහිත දින ගණනකි. සෑම මාස දෙකකටම වරක් මෙම මමියට තුනී අයිස් තට්ටුවක් ඉසීමට ද විද්‍යාඥයන්ට සිදු වී ඇත. ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ මෙම මමිය මහජන ඇසින් ඈත්කර එයට සිය ජීවිතයේ අවසාන දවස් ස්වල්පය වඩාත් නිස්කලංක පරිසරයක ගත කරන්නට ඉඩ සලසා දෙන්නට ය.

ඕට්සි එසේ ලෝකයේ සමුගෙන යන්නට නියමිත වුණත් ඕටිසිගේ ජීවිතය ඇසුරෙන් බිහිවන්නට යන මෙබඳු නිර්මාණ විසින් ඔහුගේ උරුමය තවදුරටත් සදාකාලික කරනු ඇත.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment