සත්‍යවාදී ප‍්‍රකාශයක ප‍්‍රතිපක්ෂය හෙවත් ප‍්‍රතිවාදය මුසාවාදයකි. එහෙත් යම් සුවිශේෂී තත්වයන් යටතේ, ගැඹුරුතම සත්‍යයක් පිළිබඳ යම් ප‍්‍රකාශයක ප‍්‍රතිවාදයත්, තවත් ගැඹුරුතම සත්‍ය ප‍්‍රකාශයක් විය හැක්කේය. මේ රටේ දේශපාලනය දූෂිත බවට මෑතකදී ජනාධිපති සිරිසේන කළ ප‍්‍රකාශය සත්‍යවාදී ප‍්‍රකාශයකි. ඒ හා සමානම ගැඹුරක් ඇති, ඒ හා සමානම සත්‍යවාදී වන එම ප‍්‍රකාශයේ ප‍්‍රතිපක්ෂය හෙවත් ප‍්‍රතිවාදය වන්නේ, එම දූෂණය සම්බන්ධයෙන් කිසිවක් කිරීමට ඔහුට නුපුළුවන් බව හෝ ඒ ගැන ඔහු කිසිවක් නොකරනු ඇති බව ය.
පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ රැස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් අමතා, පවතින දේශපාලනික වාතාවරණය ගැන කතා කිරීමට ජනාධිපතිවරයා තෝරාගෙන තිබුණේ, අමාත්‍ය එස්.බී. දිසානායකවයි. දූෂණය ගැන ඔහු පැවැත් වූ අනුශාසනාව, පෙරාපු කෛරාටිකත්වයකත්, අවිශිෂ්ඨ ප‍්‍රලාපයකත් අග‍්‍රගණ්‍ය ප‍්‍රකාශනයකි. මේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගෙන් ආචාර ධාර්මික දිව්රුම ලබා ගැනීම සඳහා ජනාධිපති සිරිසේන විසින් තෝරාගෙන තිබුණු අනිත් සුපිරිසුදු නායකයා වුණේ සුසිල් පේ‍්‍රමජයන්ත ය.
මේ දෙන්නා අපේ ආණ්ඩුකරණ බල යාන්ත‍්‍රණයේ කප්පිත්තන් බව ඇත්ත. අපේ දේශපාලනික කතිකාවේ පාරිතෝෂික මූර්තිමත් කරන්නෝ ඔවුහු ය. වැඩක් නොකොට උපයා ගත් ධනස්කන්ධයක්. හෘද සාක්ෂියකින් තොර සම්භෝගයක්. සදාචාරයක් නැති ගනුදෙනුවක්.
බැඳුම්කර කොමිසමේ වාර්තාව දැන් ජනාධිපතිවරයා සතුව තිබේ. ඒ වාර්තාව සම්බන්ධයෙන් ඔහු කිරීමට අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන අපි තවම කිසිවක් නොදනිමු. දැන් පුරුද්දකට වාගේ ජනාධිපතිවරයා නිතර පවත්වන දේශනාවන්හි දක්නට ලැබෙන සටන් පාඨ වටිනාකම්වලින් එහාට යන, යහපාලනය, වගවීම සහ පාරදෘෂ්‍ය භාවය ගැන සැබවින් යමක් කිරීමට ඔහු කැමැත්තේ නම්, මේ කොමිෂන් වාර්තාව ඔහු මාධ්‍යයටත්, ජනතාවටත් ප‍්‍රසිද්ධ කළ යුත්තේය.
ඇතන්ස් නුවර පැවති ඉපැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය තුළ සියලූ පුරවැසියෝ එහි සහභාගීකරුවෝ වූහ. එදා සමාජයේ සිටි වහලූන් සහ ප‍්‍රවේණිදාසයන් එම ක‍්‍රියාවලියේ පේ‍්‍රක්ෂකයෝ වූහ. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ විශ්ව පුරවැසි භාවය විසින් අපව එම ක‍්‍රියාවලියේ වහලූන් බවට පත්කොට ඇත. දැන් අපි, මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සහ මහබැංකු අධිපතිවරයා තෝරා ගැනීමට අගමැතිවරයා සතු පරම අයිතිය පිළිබඳ කතාව දැන ගැනීම සඳහා පුලපුලා බලා සිටින පේ‍්‍රක්ෂකයෝ වන්නෙමු.
එම වාර්තාව ‘ජනතාව වන අප’ සමග බෙදාහදා ගැනීමට යහපාලනික ජනාධිපතිවරයා තීරණය කළ විට, එම වාර්තාවේ අන්තර්ගතය දැන ගැනීමට අපට හැකි වනු ඇත. එතෙක් අප ඉවසා සිටිය යුතුය. කෙසේ වෙතත්, මේ වන විට, ජනාධිපතිවරයාගේ හිතේ වැඩ කරන වෙනත් වැදගත් දේවල් තිබේ. 2018 වසරේදීත් විශ්වසනීය නායකයෙකු වශයෙන් සිටීම සඳහා ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් යම් සාර්ථකත්වයක් ඔහු ලබා ගත යුතුව තිබේ.
එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවිවාදිත නායකයා වීමට නම්, ඔහු විසින් ‘පොහොට්ටුව බලඇණිය’ පැරදවිය යුතුව තිබේ. ඒ ජයග‍්‍රහණය සාක්ෂාත් කර ගන්නා තෙක්, ඔහුගේ ?න ඔහුගේ කරඬුව අභියස චපල වන්දනා නඩයක් සේ සිටිනු ඇති අතර, සෙසු උපයෝගික මිසදිටුවන්, ව්‍යවස්ථාපිත ආයතනයක් සමග ඇති කර ගත් ගනුදෙනුවක් ඔස්සේ ගෝඨා තැනූ මහින්ද රාජපක්ෂගේ පරවේණී සොහොන් ගෙය වටා ගෝත‍්‍රික රංගනයක යෙදෙනු ඇත. ඔවුන්ට කුත්තු කරන්නෝ, ජ්‍යෙෂ්ඨ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන සුසිල් පේ‍්‍රමජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න ය.
අනිත් පැත්තෙන්, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා විසින් අත්කර ගත යුතුව ඇති ඉහත කී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමකටත් හේතුභූත විය යුතුය. ඒ අරුතින්, බැඳුම්කර කොමිසමක් පත් කිරීම වැදගත් පියවරකි. මේ ඔස්සේ, පොදු අපේක්ෂකයා සහ පොදු අපේක්ෂකයාට පිටුදුන් ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අතර පැවති සම්බන්ධතාව විපර්යාසයට භාජනය වී තිබේ. 2015 ජනවාරි 8 වැනි දා ජයග‍්‍රහණයේ සහකරුවා, 2018 ජනවාරි 1 වැනි දා වන විට, එක්සත් ජාතික පක්ෂයේ විශේෂිත එදිරිවාදියා බවට පත්ව ඇත.
දෙසැම්බර් මාසයේ අවසාන සතියේ ජනාධිපති සිරිසේන වැදගත් ප‍්‍රකාශ දෙකක් කෙළේය. ඒ දෙකම, 2018 වසරේදී ඓතිහාසික වශයෙන් නිශ්චිත වන්නා වූත්, දේශපාලනික වශයෙන් වැදගත් වන්නා වූත් ප‍්‍රකාශ ද්වයකි. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අලූතින් සන්නාම කෙළේය. ‘මහින්ද චින්තනය’ වෙනුවට ඔහු ‘නිදහස් සම්මුතිය’ වේදිකාවට ගෙනාවේය. දේශපාලනික සන්නිවේදනය අතින් ගත් විට එය කදිම උපායකි. මෙය සමාජගත කෙරෙන මොහොතේ, ජනාධිපති සිරිසේන තමා සහ ‘භගවත් ගීතාවේ’ ක‍්‍රිෂ්ණා අතර සැසඳීමක් කරමින්, ක‍්‍රිෂ්ණාගේ අසිපතේ අපක්ෂපාතී යුක්ති ගරුකත්වය අවධාරණය කෙළේය. ඔහු උපුටා ගත් භගවත් ගීතාවේ උපහැරණය උත්ප‍්‍රාසණීයයි. ධර්මය පිරිහෙන විට, ජීවිතේ අරුත අමතක කෙරෙන විට, තමා මිහිමත ප‍්‍රාදුර්භූත වන බව, ‘භගවත් ගීතාවේ’ ක‍්‍රිෂ්ණා කියයි. සෑම යුගයකම ඔහුගේ කාර්ය භාරය වන්නේ, යහපත රැකීම ය. නපුර නැසීම ය. ධර්මය යළි ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ය. ‘‘මගේ කඩුවට කවුරු කැපේ ද කියා මං දන්නේ නැහැ’’ යි ජනාධිපතිවරයා කීය.
‘භගවත් ගීතාව’ නැමැති මූල-කෘතියේ අදාළ වැකියට පසුපසින් තවත් උත්ප‍්‍රාසාත්මක කියමනක් තිබේ: ‘‘අර්ජුන, සෑම මාවතක්ම දිවෙන්නේ මා වෙතට ය’’ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය වඩාත් තියුණු ය. සේයා-මුෂ්ටි ප‍්‍රහාරයේ අත්‍යාවශ්‍ය රීති ආරක්ෂා කෙරුණු මුත්, ඔහු භූතාවතාර සතුරාව වැඩියෙන් වැසැංගුවේ නැත. ‘‘මේ රටේ දේශපාලනය දූෂිතයි. මගේ නායකත්වය සහිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වඳින එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් ඇති කරන්නේ පිරිසුදු දේශපාලනික යුගයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මගේ පවුලේ කෙනෙකුට මං දෙන්නේ නැහැ. ඒ පක්ෂ නායකත්වය දවසක ලැබෙන්නේ, මේ සභාවේ අද සිටින දීප්තිමත්, දැනුවත්, කාර්යශූර පුද්ගලයෙකුටයි.’’
ජනාධිපති සිරිසේන දූෂණය දුරලති යි මේ ලියුම්කරු විශ්වාස නොකරයි. එය කළ නොහැක්කකි. ලෝකයේ කිසි රටක් දූෂණය දූරිභූත කොට නැත. අපට යම් උත්හාසයක් ගත හැක්කේ, ආයතනික දූෂණය අවම කර ගැනීමටයි. බලයට පත් සැණින් විදුලි සංදේශ අධිකාරියේ සභාපතිත්වයට තම සහෝදරයා පත්කර ගැනීම හරහා ඥාති සංග‍්‍රහය යළි ස්ථාපිත කළ ජනාධිපතිවරයා, තම තනතුර සතු අභිමතානුසාරී බලයේ සදාචාරමය සීමාවන්ට වෙට්ටු දැම්මේය. දක්ෂතා සහිත නිපුණ නිලධර තන්ත‍්‍රයක් පිළිබඳ සිය කැප වීම මේ යැයි පෙන්නුම් කරමින්, ස්වභාවික ගෑස් සම්පතින් අනූන කටාර් රාජ්‍යයේ අපේ තානාපති වශයෙන් ඒ. එස්. පී. ලියනගේව පත්කෙළේය. ඒ වනාහී, රට්ටුන්ගේ මතය කුමක්ද යන්න ගැන තමා තඹේකට මායිම් නොකරන බව සංකේතවත් කළ අවස්ථාවකි.
මේ රචනාවේ පරමාර්ථය වන්නේ, යහපාලනය සහ දූෂණය අළලා ජනාධිපතිවරයා මෑත කාලීනව දෙසා වදාළ අනුශාසනා දෙකක් තුළ පැවති දෙබිඩි-භාෂණය ලිහා ගැනීමයි. සත්‍යවාදී ප‍්‍රකාශයක ප‍්‍රතිපක්ෂය බොරුවකි. කෙසේ වෙතත්, පුරෝගාමී ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෙකු වන නියෙල්ස් බොහෝර් පවසා ඇති පරිදි, ගැඹුරු සත්‍යයක ප‍්‍රතිපක්ෂයත් තවත් ගැඹුරු සත්‍යයක්ම විය හැකිය.
අප හිත හදා ගත යුතු තිත්ත ඇත්තක් තිබේ. එනම්, ජනාධිපති සිරිසේන යනු තවත් එක් දේශපාලඥයෙකු වන බව ය. ඔහු, මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික‍්‍රමසිංහ තරමටම, හොඳ හෝ නරක විය හැකිය. දේශපාලඥයෝ සත්‍යය කෙරෙහි උත්සුක නොවෙති. ඔවුන්ගේ උනන්දුව රජයන්නේ බලය කෙරෙහි ය. බලය ලබා ගැනීම සහ පවත්වා ගැනීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථයයි.
බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යකරුවෙකු, කවියෙකු සහ කතුවරයෙකු වන හැරල්ඞ් පින්ටර්, තමාගේ 2005 නොබෙල් ත්‍යාගය භාර ගනිමින් කළ දේශනය සඳහා යොදා ගත් මාතෘකාව වුණේ, ‘කලාව, සත්‍යය සහ දේශපාලනය’ යන්නයි. බලයේ රැුඳී සිටීම සඳහා දේශපාලඥයන් විශ්වාසය තබන්නේ, හැකි තාක් ජනතාව අඳුරේ තබා ගැනීම මත බව පින්ටර් කීවේය. ජනතාවගෙන් සත්‍යය වසං කරනු ලැබේ. ඔවුන්ගේ ජීවිත පිළිබඳ සත්‍යයන්ගෙන් පවා ඔවුන්ව ඈත් කර තබනු ලැබේ. එබැවින්, අපව පෝෂණය කෙරෙන සුවිශාල බොරු වැලක විචිත‍්‍ර ගෙත්තමකින් අපව සරසා තිබේ. ජනාධිපතිවරයාගේ ‘නිදහසේ සම්මුතිය’ නැමැති ගාම්භීර උද්ධෘතය යටතේ දිග හැරුණේ, බොරුවෙන් ගෙතුණු එවැනි විචිත‍්‍ර ගෙත්තමකි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති සිරිසේන සුගතදාස ක‍්‍රීඩාංගනයේදී ප‍්‍රදර්ශනය කෙළේ, මවා ගත් කෝපයකි. මේ ලියුම්කරු විශ්වාස කරන පරිදි, එය පැහැදිළිවම සැබෑ එල්ලයක් සහිත කෝපයක් වුවත්, සැබෑවට දැනුණු කෝපයක් නොවේ. තම කැපවීමේ අව්‍යාජත්වය ප‍්‍රදර්ශනය කිරීමට ඔහුට තව අවුරුදු තුනක් තිබේ. දේශපාලනය සහ සත්‍යය අතර මෙලෝ නෑකමක් නැත. දේශපාලනය යනු, වාසිදායී කාර්ය-සාධනයයි.
අපේ අංශභාග ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ, තම ස්ථාවරයන් වෙත පුරවැසියන්ව පෙළඹවිය නොහැකි බව දේශපාලඥයෝ දනිති. අපේ දේශපාලනය ප‍්‍රතිපත්තිවලට අදාළ දෙයක් නොවේ. එය අනුග‍්‍රහය පිළිබඳ කලාවකි. පක්ෂයක් කඩාගෙන තමන්ගේ පැත්තට එන එකාට රාජ්‍ය ඇමති පදවියකින් ජනාධිපතිවරයා සංග‍්‍රහ කරන විට පොදුවේ සමාජයට ඔහු දෙන ආදර්ශය කුමක් ද? විශේෂයෙන් තම පක්ෂයේ අභ්‍යන්තර ආරාවුල් මැද්දේ වැඩ උඩ සිටින අයවළුන්ට ඔහු දෙන සංඥාව කුමක් ද?
මේ ලිපිය, ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ය. ඒ මගින් අගමැතිවරයාව නිදොස් කරතැ යි නොගත යුතුය. ඒ වෙනුවට, මේ වනාහී, අප තෝරා පත්කර ගත් ජනාධිපතිවරයාගේවත්, ඒ ගනුදෙනුවේදී අපට උරුම වූ අගමැතිවරයාගේවත් අදහස් උදහස් පිළිබඳ රචනාවක් නොවන අතර, සත්‍යය මත පදනම්ව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කර ගැනීම උදෙසා වන ආයාචනයකි. අද වන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නියෝජනය කරන්නේ ප‍්‍රතිපක්ෂ සත්‍යයන් දෙකක් බව ඒ අතරේ මතක තබා ගත යුතුව තිබේ.
කීර්තිමත් සමාජවිද්‍යා දාර්ශනිකයෙකු වූ මැක්ස් වෙබර්, ‘වෘත්තියක් වශයෙන් දේශපාලනය’ මැයෙන් කරන ලද සුප‍්‍රකට දේශනයේදී පැමිණි නිගමනය සිත්කළු ය: ‘‘සමාජය වෙත තමාට දීමට ඇති දෙය දිරවා ගැනීමට බැරි තරමට සමාජය මුග්ධ හෝ ළාමක ය යන අවබෝධය ඉදිරියේ කඩා නොවැටෙන බවට සහතිකයක් ඇති කෙනා පමණක් දේශපාලනයට ඔබින්නේය. ඒ සියලූ දේ ඉදිරියේ, ‘‘ඒ සියල්ල එසේ වෙතත්’’ යැයි හඬගා කීමට තරම් දිරියක් ඇති කෙනා පමණක් ඊට ඔබින්නේය.’’
2018 ජනවාරි 1 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ 2018- The Year Of Opposite Truths නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි
0 comments :
Post a Comment