මංගලගේ සුරාබදු දෙපාර්තමේන්තුව, ජනපති යටතට.


මුදල් අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමේ සුදානමක් ඇතැයි තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනිමට තිබු තහංචිය හා මත්පැන් අලෙවිසැල්වල සේවය කිරිමට තිබු බාධා ඉවත් කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා නිකුත්කළ ගැසට් නිවේදන පිළිබඳව විරෝධය පලකළ මහ සංඝ රත්නයේ ඉල්ලීම මත එම පියවර ගනු ලබන බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් කල විමසීමේදී ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු පැවසුයේ, සුරාබදු දෙපාර්තමේන්තුව ජනපති යටතට පවරා ගැනීමක් සම්බන්ධයෙන් මෙතෙක් දැනගන්නට ලැබී නොමැති බවයි.

එහෙත්, පළාත් පාලන මැතිවරණය අවසන්වූ වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතිබවත්, එහිදී ආර්ථික ක්ෂේත්‍රයට අදාළ විෂයයන් කිහිපයක් ජනාධිපති යටතට පත්වනු ඇති බවත් එම නිලධාරියා පැවසිය.

මැතිවරණ සමයේ ප්‍රචාරය වන කටකතා හෝ මේදිනවල වේදිකාවල කියන කතා එතරම් බැරෑරුම්ව නොසලකන්නැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිගේ කෑගලු කතාව :

මේ අතර ඊයේ (20) කෑගල්ලේ පැවති සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම තමා අතට ගන්නා බවයි.

පසුගිය වසර තුන පුරා එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණත් මෙම වසරේ සිට එම වගකීම තමා අතට ගන්නා බව ජනාධිපතිවරයා එහිදී පැවසිය.

ඒ සඳහා මීට තෙමසකට පෙර ජාතික ආර්ථික සභාව පත් කළ බව පැවසූ ජනාධිපතිවරයා, ඒ හරහා රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

දුෂණයට එරෙහි සටන ඡන්දයට පසුදාම :

දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන සියල්ල ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, රට හැර නොගොස් මාතෘභූමිය ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලූ දේශීය කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ආයෝජකයින්ගෙන්ද ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.

ස්වාභාවික සම්පත්වලින් අනූන අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට කිසිදු බාධාවක් නොමැති අතර ඇති එකම බාධාව දූෂිත දේශපාලනය බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, දූෂිත දේශපාලනයට තිත තැබීමේ ගමන තමා මෙම පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණයත් සමග ආරම්භ කරන බවද කියා සිටියේය.

එමෙන්ම රටේ සියලූ ආගමික නායකයින් උගතුන්, බුද්ධිමතුන් සහ රටේ සියලූ ජනතාව එකම කොඩියක් යටතට ගෙන එමින් මේ රට දූෂණයෙන් වංචාවෙන් තොර ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේ ගමන ද එම මැතිවරණ ජයග්‍රහණයත් සමග අරඹන බව ජනාධිපතිවරයා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment