'කාන්තාව, සදාචාරයක හිර කරලා ජනපති ගත් තීරණය ව්‍යවස්ථා විරෝධීයි' – කාවින්ද්‍යා.


ඔබ අධ්‍යාපනය හදාරන්නේ කොහේද ?

මම ශිෂ්‍යත්වයකින් ඇමරිකාවේ වෙල්ස්ලි විදුහලට ඇතුලත්ව එහි අධ්‍යාපනය හදාරා දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාව ඉගෙන ගන්නවා.

අධ්‍යාපනය හදාරණ ගමන් රැකියාවකත් නිරත වනවාද ?

ඔව්, මම අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක නිරත වෙනවා. මම සාමන්‍ය පවුලක කෙනෙක්. ඒ නිසා මට අධ්‍යාපනය හදරණ ගමන් රැකියාවකත් නිරත වෙන්න වෙලා තියෙනවා . මම පහුගිය අවුරුදු තුන පුරාම අර්ධ කාලීන රැකියාවක නිතර වෙනවා. ඒ බාර් එකක සහ ආපන ශාලාවක.

කාන්තාවක් මත්පැන් අලෙවි හලක රැකියාවක් කිරීම කවරාකරවද ඔබ දකින්නේ ?

බාර්වල වැඩ කරන පිරිමි අය ඉන්නවා. ඒ වගේම ඒවායෙහි සේවය කරන කාන්තාවන්ද සිටිනවා. ඒ නිසා එවැනි ස්ථානවල කාන්තාවක් සේවය කිරීම තුළ මා කිසි වරදක් දකින්නේ නැහැ. එය මිනිසෙකු සඳහා හොඳ රැකියාවක් නම්, එය කාන්තාවක් කළායැයි පවසා එය පහත් කොට විවේචන කරන්නේ කුමක් නිසාද යන්න මම දන්නේ නෑ .

ලංකාවේ රජය විසින් පසුගිය 10 වන දා පනතක් මගින් මෙතෙක් මත්පැන් අලෙවි හල් හි රැකියා නොකරන ලද කාන්තාවන්ට ඒ සදහා අවස්ථාව හිමි වුනා. එසේම කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබූවා.. මෙය කාන්තාවන්ට කරන අගෞරවයක් ලෙසයි ඇතැමුන් දැක්කේ.. කුමක්ද මේ සම්බන්ධයෙන් දරණ අදහස ?

ඒක විහිළුවක්. අපේ රටේ කන්තාවන් 60% ක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. මින් අදහස් වෙන්නේ සෑම කාන්තාවන් 10 දෙනාගෙන් 6 දෙනෙක් තම නිවසේ ආරක්ෂාව සහිතවත් අපයෝජනයට ලක්ව ඇති බවයි. පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව 2005 සහ 2016 අතර කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 33,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය වසර දහය තුළදී පොලීසිය විසින් වාර්තා කරන ලද ලිංගික දූෂණය හා දිරි ගැන්වීම් 40% කින් ඉහළ ගොස් තියෙනවා. කන්තාවන් හා ගැහැණු ළමයින් තම පුරුෂයන්, පියවරුන්, සුළු පියවරුන් විසින්ම දූෂණය කරන රටක ස්ත්‍රීන්ගේ ගෞරවය ගැන කතා කිරීමම විහිලුවක්.

ශ්‍රී ලංකාවේ විවාහක ස්ත්‍රී දූෂණය තවමත් නීත්‍යානුකූලයි – එනම් අපගේ නීතියේ ස්වාධීනව තමාගේම භාර්යාව ලිංගික දූෂණය කිරීමට සැමියාට ඉඩ සලසන නීතියක් ලෙසයි පවතින්නේ. මේ කාන්තා ගෞරවයක් ගැන කතා කරන මහත්වරු පසුගියදා දූෂණය කර මිය ගිය අවුරුදු 14 ක දැරියගේ දූෂණය පිළිබද කිසිවක් කියන්නේ නෑ.. අපේ ජනාධිපති සහ අපේ කැබිනට් ඇමතිවරු කාන්තාවන් ගැටලු සඳහා අවංක සැලකිල්ලක් දක්වන්නේ නම්, මේ රටේ කාන්තාවක් සෑම මිනිත්තුවකටම සිය ජීවිත අවදානමට ලක් වෙමින් පවතින දැවෙන ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් නිහඬව සිටීම පුදුම සහගතයි..මෙපමණ ගෞරවයක් කාන්තාවට ලබා දෙන්නෙ නම් ඇයි ඔවුන් නිහඬ ?

රජය විසින් ගත් මෙකී පනත රටේ ජනාධිපතිවරයා විසින්ම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔබ සමාජ ජාලා හරහා සෘජුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න කර සිටිනවා.. කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකි බව ජනපතිවරයා විසින් දැන නොසිටි බවත් එසේම ස්ත්‍රියක් දින දෙකක් තිස්සේ දූෂණය කිරීමක් සම්බන්ධයෙන් ජනපතිවරයා නිහඩ වීම සම්බන්ධයෙන් එහිදී අවධාරණය කර සිටිනවා … මෙසේ කරන්නේ ඔබ බටහිර සංස්කෘතිය වැළද ගෙන ඒ මත ජීවත් වෙන නිසා ද ?

කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න පිළිබද අන්ධ භාවයකින් සිට ඒවා නොසලකා හැර ඇඳුමේ ප්‍රමුඛතාවයන්ට අනුව කාන්තා ප්‍රශ්න දෙස ජනාධිපතිවරයාගේ හඬ නැගීම සහ මත්පැන් මිලදී ගැනීම පමණක් කාන්තාවන්ට තහනම් කිරීම හෝ බාර් එකේ වැඩ කිරීම තහනම් කිරීම දෙබිඩි පිළිවෙතක් විදියටයි මා දකින්නේ. ඒ නිසා මා සාමාන්‍ය මිනිසුන්ගේ බුද්ධියට කතා කරනවා. මෙම නීතිය වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී වන බව පෙන්වා සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මට කතා කිරීමේ අයිතියක් තිබෙනවා .

මම හැදී වැඩුණේ දැරණියගල නම් කුඩා ගමක. . සංස්කෘතිය ආත්මීයයි. සංස්කෘතිය නීතිය නොවේ. ඕනෑම යල් පැන ගිය අසාධාරණ ක්‍රියාවක් නැති කර දැමිය නොහැක්කේ ඇයිද යන්න තර්කානුකුල හේතුවක් නොමැති විට ඔවුන් භාවිතා කරන පොදු නිදහසට දෙන අර්ථය කුමක්ද ? සංස්කෘතිය යනු සංස්කෘතියයි. ගමකින් ගමකට පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙනවා. ඔබේ සංස්කෘතිය මාගේ සංස්කෘතිය නොවේ. අප සියලු දෙනාම අපගේ සංස්කෘතීන් නිර්මාණය, හැඩය වෙනස්. එය සිදුකරගන්නා ආකරයද වෙනස් . ඒක පුද්ගලික දෙයක්. කිසිවෙකු වෙනත් සංස්කෘතියක් මත පැටවිය නොහැකියි. ඒ සංස්කෘතිය අනුගමනය කිරීම හෝ නොකිරීම මගේ පෞද්ගලික දෙයක්.

ලංකා සමාජය තුළ ලිංග භේදය අනුව දේවල් තීරණය වීම සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් ගොඩ නැගෙමින් තිබෙනවා.. ඔබ මේ සම්බන්ධයෙන් දක්වන අදහස ?

ඇත්තටම මේ ප්‍රශ්න සියල්ලම එකකට එකක් සමානයි. ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ සමාජ සැකැස්මක් එය පෞද්ගලික දෙයක්. ඉතිං ස්ත්‍රී පුරුෂ භාවය පදනම්ව ඇඳුම් ඇඳීම, කන කෑම, මත්පැන් පානය කරනවාද නොකරනවාද , අප විවාහ විය යුත්තේ කවුරුන් සමගද , අප දරුවන් හදන්නේද නොහදන්නේද , දරුවන් ඇති දැඩි කිරීම, ලිංගික කාර්යයේ නිරත වීම යන්න සම්බන්ධයෙන් රජයට තීරණය කළ නොහැකියි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්ව වෙනස්කම් කිරීම අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ශ්‍රී ලංකාව ඉතා ප්‍රබල , ශක්තිමත් කාන්තා නායකත්වයක් බිහිකරපු තැනක් එම තත්වය දියුණු කිරීමටයි අපි කටයුතු කළ යුත්තේ ..

මැතිවරණයේදීද කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම මගින් කාන්තාවන්ට පරිපාලනය සදහා ඉඩක් විවර කර දීමට රජය කටයුතු කරනු ලැබූවා .. එය මෙතෙක් කාන්තාවන්ට හිමි නොවූ ස්ථානයක් හදා දීමක් ?

අපට අත්දැකීම් , ඉදිරි චින්තනය ඇති ප්‍රගතිශීලී කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ තිබිය යුතුයි. අපේ දේශපාලනය ස්වභාවයෙන්ම ලිංගිකත්වය මත පදනම් වෙලා තියෙන්නේ දේශපාලනය කරනවා නම් සාධක දෙකක් බලපානවා එකක් තමයි පවුල් සබඳතා අනෙක තමයි කොපමණ බැංකුවේ මුදල් තියෙනවාද කියන කාරණය ප්‍රතිපත්ති පදනම් දෙශපාලනික පරිසරයක් අපට අවශ්‍යයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා කාන්තාවන්ට වැඩි ප්‍රතිපාදන වෙන් කළ හොත් පශ්චාත් මැතිවරණයට කිසිවෙකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඉටු කිරීමට ඔවුන් බැදී නොසිටිනවා. එසේම ගැහැණු හා පිරිමි අපේක්ෂකයින් සඳහා වඩාත් ගැඹුරු දේශපාලන, නීතිමය හා සමාජ අවබෝධය ලබා දීම සහ කාර්යක්ෂම, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යාම සදහා වඩාත් ඵලදායි පුහුණු වැඩසටහන් අවශ්‍යයි.

පවසන්න, ලංකාව තවමත් ගෝත්‍රික වටපිටාවක හිද ස්ත්‍රියට සලකනවා යන්න ඔබ පිළිගන්නා කරුණක් ද ?

අපි සමාජයක් ලෙස බොහෝ දුරක් පැමිණ තිබෙනවා. මේ කරුණට අදාළව බොහෝ ඇමතිවරු රාජ්‍ය ආයතන හා පුද්ගලයින් බොහෝ දෙනෙක් ධනාත්මක අදහස් පළ කොට තිබෙනවා. ඔවුන් කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් නිශ්චිත වැඩ කොටසක් ඉටු කරනවා මම දැක තිබෙනවා.. එහෙත් කනගාටුයි කියන්න රටේ ජනාධිපති තුමා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ අදහස් දැක්කම ඇත්තටම අපි ගෝත්‍රික භාවයකට තල්ලු කොට ඇති බව පසක් වෙනවා. ඒ අනුව සෑම ප්‍රගතිශීලී පියවරක් සමගම පියවර කිහිපයක් පසු පසට ගනිමින් සිටිනවා. මේ නිසා ස්ත්‍රින්ගෙ ශරීරය, ඔවුන්ගේ සායේ දිග හෝ ස්වාධීනත්වය පුටු දේශපාලනික අවශ්‍යතාවයන් සදහා යොදාගනිමින් සංස්කෘතිය ආරක්ෂා කරනවා යන්න පවසා ඡන්දයට පෙර මිනිසුන් සතුටු කිරීම නතර කළ යුතුමයි. මේ නිසා ඔබ ඉහතින් දැක්වූ අදහසට මදක් හෝ එකග වෙන්න වෙනවා…

එහෙත් බෞද්ධ භික්ෂූන් සදහන් කොට සිටින්නේ .. කාන්තාවන්ට හිමිව තිබූ ගෞරවය නැති කිරීමට මෙවැනි දෑ ඉදිරිපත් වීමෙන් සිදුවන බවයි.. ඒ අනුව බෞද්ධ සමාජයක් තුළ කාන්තාවන්ට නිසි ගෞරත්වය ලැබෙනවා නේද ?

කාන්තාවන්ගේ සන්දර්භය තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් නිවැරදිව අනුගමනය කළ බොහෝ ප්‍රගතිශීලී බෞද්ධ භික්ෂූන් වහන්සේ මම දැක තිබෙනවා. කෙසේ වෙතත්, උසස් තනතුරු සුරක්ෂිත කිරීම සඳහා උත්සාහ කළ  භික්ෂූනීන්  වහන්සේලා මුහුණ දුන් විරුද්ධත්වය හොඳින් පෙනෙන්නට තිබුනා. මම දකින ආකාරයට එය කාන්තාවකට පෙන්විය හැකි ඉහළම ආකාරයේ අගෞරවයක්.

කාන්තාවන් සම්පූර්ණයෙන්ම දුර්වලව සිටින බවට පිළිගත් වෙනස්කම් කරන ලද මෙවැනි ව්‍යවස්ථාපිත නීතියක් සම්මත කරගන්නේ කෙසේද යන්න මා දැක නැත. කාන්තාවන් මුලුමනින් ම දුර්වල බවත්, තමන්ගේම තීරණයක් ගැනීමට කිසිදු ස්වාධීනත්වයක් නොමැති බවත්, දුරස්ථව සිටීම සඳහා ගෞරවයක් ලෙස සැලකිය හැකි බවත් මෙහිදී උපකල්පනය කරයි. මත්පැන් සමාජයට ප්‍රශ්නයක් නම් එය ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයටම එය තහනම් කරන්න.

ම‍ට පුදුම ඇයි, අපේ මහානායක අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා මේ ගනන් කළ නොහැකි තරම් අසභ්ය සිදුවීම් හා ළමා අපචාර සිද්ධීන් අතරතුර දී කතා නොකළේ ඇයි කියන එක. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා සහිතව ශ්‍රී ලංකාවට වැඩැම්මුවේ කාන්තාවක් විසින් ඒත් දැන් මාලිගාවේ ඇතුළු කුටිවලට කාන්තාවන්ට ඇතුළු වීම පවා තහනම් කරල තියෙනවා එහෙම වෙන්නේ ඇයි කියන එකයි මං හිතන්නේ ..

ඔබ යෝජනා කරන අන්දමට ලංකාව තුළ නිදහස් කාන්තාවක් , ස්වාධීනව වැඩ කළ යුතු කාන්තාවක් නිර්මාණය වීම සදහා කුමක් විය යුතුද ?

අප පළමුවෙන්ම ආරම්භ කළ යුත්තේ අපේ රටේ පාසල් පද්ධතියෙන්, තාමත් අපෙ පාසල් තුළ විධිමත් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය විෂය මාලාවක් නැහැ. ළමා අපචාර සිද්ධි වලදි අපි නිතරම දකින දෙයක්, කුඩා දරුවන් ඔවුන්ට සිද්ද වෙන්නෙ අපචාරයක් කියාවත් ඔවුන් දන්නේ නැති එක. එවන් අවස්ථාවන් වලදි ඔවුන් කළ යුත්තෙ මොනවාද යන්නවත් ඔවුන් දන්නේ නෑ. අපි මෙවැනි ප්‍රශ්න පිළිබද පාසල් තුළ විවෘතව කතා කළ යුතුමයි. මම දැක්කා ජනාධිපති තුමන්ගේ මේ තීරණයට එරෙහිව කතා කරපු, මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරපු කන්තාවන්ට ඉතා පහත් විදිහට කතා කරනවා, එක හිටපු යොවුන් පාර්ලිමේන්තු නියොජිතයෙක් එම කන්තාවන් ‘බඩුවක් ‘ බවද කියා සිටියා. එහෙත් මෙම ප්‍රශ්නය පිලිබදව කතා කරපු සමාජ ක්‍රියාකරිනියන් බොහෝ දෙනෙකුම කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවන් ක්‍රියා කළේ , පාරට බස්සේ , නඩු කිවුවේ අද ඊයේ නොවෙයි. එ සිද්ධිවල්දි දැන් මේ නින්දෙන් බය වෙලා ඇහැරුණාවගේ කෑ ගහන විවේචනය කරන මහත්වරු හිටියේ කෝහේද කියන එක ප්‍රශ්නයක්.

සංවාද සටහන – තුසිත පතිරණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment