‘‘මට තනතුරේ ඉන්න ආශාවක් නෑ. අද වුණත් ගෙදර යන්න ලෑස්තියි“ - ජනපති හම්බන්තොටදී කියයි.

‘‘මට තනතුරේ ඉන්න ආශාවක් නෑ. අද වුණත් ගෙදර යන්න ලෑස්තියි“ - ජනපති හම්බන්තොටදී කියයි.

කවුරුත් බය වෙන්න එපා.!

''තනතුරු මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ ජීවිත කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරය තුළ ජනතාවාදී ගමන් මගක කොටස්කරුවෙක් විදියට, නියමුවෙක් විදියට තනතුරු තිබුණත් නැතත් මම මේ රටේ වම, ප්‍රගතිශීලි ව්‍යාපාරයේ ජනතාවත් එක්ක මම දිවි හිමියෙන් කටයුතු කරනවා“ යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය .

''කවුරුවත් බය වෙන්න එපා. මේ රටේ මැතිවරණයක් තිබ්බොත් ඒ ඕනෑම මොහොතකදී ජනතාව දෙන තීන්දුව අපි අනිවාර්යෙන්ම පිළිගන්නවා. ජනමතයට ගරු කරනවා .ඒ වගේම තමයි අධිකරණය මගින් විනිශ්චකාරතුමන්ලා දෙන ඕනෑම තීන්දුවක් අපි ඉතාම ගෞරවයෙන් බාර ගන්නවා. මට අවුරුදු හතරද පහද ,හයද කිසිදු බේදයක් නැහැ. මම ආවේ මෙම පුටුවේ වැජඹෙන්න නොවෙයි. මම ලෑස්තියි හෙට නොවෙයි අද වුනත් මේ තනතුරෙන් යන්න. ජනතාවත් එක්ක ජනතාවාදී ගමනක් සඳහා මේ ගමන ශක්තිමත් කරන්න.

''මා ඉතාමත් සතුටුවෙනවා කාලයකට පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයට ඇවිල්ලා මෙම ප්‍රදේශයේ ජනතාව හමුවන්න ලැබීම ගැන. මේ රටේ රජවරුන් රජකම් කළ යුගයන්හි හම්බන්තොට මාගම්පුර මේ ප්‍රදේශයන් ඒ ඓතිහාසික වටිනාකම් සමග අපේ රටේ ඉතිහාසය ශ්‍රේෂ්ඨත්වය කියා පාන ප්‍රදේශයක්.

හම්බන්තොටයි ශ්‍රීලනිපයයි ගහට පොත්ත වගේ!

‘'ගෙවීගිය දශක කීපය ගතහොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත්වන වාම ප්‍රගතිශීලි දේශමාමක ආදරණීය ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තදින් බැඳුණු ජනතාවක්. හම්බන්තොට දිස්ත්‍රිකයේ ජනතාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතරේ තිබෙන්නේ ගසට පොත්තත්, පොත්තට ගසත් හා සමාන සම්බන්ධතාවයක්“ යැයි ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය .

'' ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා එදා එස් .ඩබ්ලිව්. බණ්ඩාරනායක මැතිතුමා සමග තිබුණු ආණ්ඩුවෙන් වෙනස්වෙලා විපක්ෂයේ ගිහින් වාඩිවෙන විට එදා දුන්න නායකත්වයේ සිට අද දක්වාම හම්බන්තොට ජනතාව තමුන්නාන්සේලාගේ ප්‍රදේශයන් තුළත් දිස්ත්‍රික්කයේත් රට වශයෙනුත් ගත්කල තිබෙන්නේ ගෞරවනීය සම්බන්ධයක් .ඒ ගෞරවනීය සම්බන්ධය තවතවත් ශක්තිමත් කරන්නට තමයි මේ දිස්ත්‍රික්කයට කිසිදාක නොලැබුණු සන්ධානයේ මහලේකම් ධුරය මහින්ද අමරවීර මැතිතුමාට මම පිරිනැමුවේ තමුනාන්සේලාට ගෞරව කිරීමක් වශයෙන්.“ යැයි ජනාධිපතිවරයා පැවසුවේය.

'අද තමුන්නාන්සේලට පක්ෂය විවෘතයි. අද පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදියි. අද පක්ෂය නිදහස්. අද පක්ෂයේ උස්මිටි ලොකුකම් ප්‍රභූ පංති නැහැ 1956 බණ්ඩාරනායක මැතිතුමා, ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එදා කරන ලද සමාජ පෙරළියේදී පොඩි මිනිහා උඩට ගැනීමට ප්‍රභූ පන්තියට තිබුණු වරප්‍රසාද ගොවි ජනතාව, කම්කරු ජනතාව ප්‍රමුඛ රටේ වැඩ කරන පන්තියට ලබා දීමට ගෙන ගිය ඒ සටනේ ප්‍රතිඵල නිසා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පසුගිය දශක හයකට වැඩි කාල සීමාවක් රටේ නායකයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් ඒ සෑම කෙනෙක්ම බිහි වුණේ .''

වැඩේ වරද්දගත්තොත් ඔතනින්ම ගෙදර යවනවා!

''අපිට මේ ඡන්දය පළාත්පාලන මැතිවරයක්, ගමේ ඡන්දයක්. තමුන්නාසේලා අපි දන්නවා ගමට වැඩ කරන මහජන නියෝජිතයෙක් තෝරා ගැනීම. ඒ ගමට වැඩ කරන මහජන නියෝජිතයා තමුන්නාසේලාට නම්‍යශීලි වූ පිරිසිදු අවංක ජනතාවාදී මහජන සේවකයෙක් වෙන්න ඕන. මේ රටේ ඡන්දයෙන් පත්වන ආයතන හතරක් තියෙනවා පළාත්පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව, ජනාධිපති ධුරය. ජේ. ආර්. ,ජයවර්ධන ජනාධිපතිතුමා ලංකා සම සමාජ පක්ෂයෙන් තරග කරලා මන්ත්‍රීවරයෙක් විදියට නගර සභාවේ ඉඳල අවසානයේ ජනාධිපති වුණා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා නාගරික මන්ත්‍රීවරයෙක් විදියට දේශපාලනය ඇවිල්ලා රටේ රාජ්‍ය නායකයා වුණා ,අගමැති වුණා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොළඹ නාගරික මන්ත්‍රී වරයෙක් වෙලා පසුව ජනාධිපති ධුරය ලබා ගත්තා .''

''මේ ගම හදන්න - ගමේ ජනතාවට සේවය කරන්න අපි තෝරාගෙන ඉන්න මේ අපේක්ෂක මහත්ම මහත්මීන් හෙට දවසේ මේ රටේ අනාගතය බාරගන්න පිරිස. ප්‍රාදේශීය සභාවේ ඉඳලා ජනාධිපති ධුරය දක්වා. නමුත් ඒ අයට මම කියනවා තමුන්නාසේලා ඉදිරියේම මුලින් වැඩේ හරියට කෙරුවොත් හරි. ඔතන ඉඳන් යන්න තියෙන ඉහළටම යනවා. ඒ වගේම වැරදි කරලා වැඩේ වරද්දගත්තොත් ඔතනින්ම ගෙදර යවනවා“ යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය .

'' ඒ නිසා විනයගරුක හික්මීමක් ඇති ආචාරශීලි ජනතාවාදී මහජන ආයතනවල නියෝජිතයින් අපි පත් කරන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට, එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට පක්ෂ විනය නිසි ලෙස හරි හැටි ඕනෑම කෙනෙකුට මම තදින් ක්‍රයාත්මක කරනවා. කිසිම කෙනෙකුට සමාවක් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි රටේ නීතිය මොන දේශපාලන පක්ෂයේද, මොන තනතුරේද, පුද්ගලයා කවුද ඒ කිසිවක් නොබලා රටේ නීතිය ක්‍රියාත්මක කරනවා. එම නිසා වැරදි කරන ඕනෑම කෙනෙකුට දඬුවම් දෙන්න ඒ ගැන කිසිදු භේදයක් නැහැ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇහැව්වේ කළ යුතු වැඩ සැලසුම් කර ගන්න!

''මම මෙතෙන්ට ආවේ මේ තනතුරේ වැජඹෙන්න නොවෙයි .මේ දවස්වල ලොකු ඝෝෂාවල් දානවා මගේ නිල කාලය පිළිබඳ මත විමසුම සම්බන්ධයෙන්. මීට කලින් හිටපු ජනාධිපතිපතිවරුත් ඔය මත විමසුම කළා. 19 වැනි සංශෝධනය තුළ මගේ නිල කාලය සම්බන්ධයෙන් රටේ මත දෙකක් තියෙනවා. නීති අංශවල මත දෙකක් තියෙනවා. මේ ගැන උගතුන්ගේ විවිධ මත දෙකක් තියෙනවා. රටේ සංවර්ධන සැලසුම් හැදීමේදී මගේ නිල කාලයන් තුළ කළ යුතු කාර්යන්වල, කළ යුතු සැලැස්ම පිළිබඳව අපිට තීරණයක් ගතයුතු වෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන තුළ නිලකාලය පිළිබඳ දැන ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුමකට ලක්කළා. මේක ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුළ නීති ගරුක වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්. මේකට සමහර අය කලබල වෙලා. විරුද්ධ පක්ෂයේ අය පමණක් නොවෙයි ආණ්ඩුවේ සමහර අයත් කලබල වෙලා.''

රට දියුණු නොවෙන්නේ හොරකම නිසයි

''ලෝකයේ හුඟක් දියුණු වෙච්ච රටවල් තරමට අපේ රටට ඉහලට යන්න බැරි වෙච්ච කාරණාව, උගතුන්,බුද්ධිමතුන් ,පඬිවරුන්, සියලු ස්වභාවික සම්පත් ඇතුළු සම්පත් අපේ රට තුළ කොතෙක් තිබුණත් අපේ දේශපාලන සංස්කෘතියේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය දශක කීපය ගත් විට හොරකම වංචාව දුෂණය නාස්තිය ,රාජ්‍ය දේපල අවභාවිතය බරපතළ විදියට පාවිච්චි කරලා. මේ රටේ දේශපාලනඥයින් කෙරෙහි ජනතාවගේ විශ්වාසය කඩ වෙලා තිබෙනවා .''

''දේශපාලනඥයාගේ හැසිරීම තුළ රාජ්‍ය නිලධාරින් ඒ මග ගමන් කරන්න පටන් ගෙන තිබෙනවා. මේ කියන්නේ සියලු දේශපාලනඥයින් නොවෙයි, මේ කියන්නේ සියලු රාජ්‍ය නිලධාරින් නොවෙයි . මොකද දේශපාලනඥයාගේ ආදර්ශය රාජ්‍ය නිලධාරීන්ට රටේ ජනතාවට ඉතා වැදගත් වෙනවා. මම ජනාධිපති ධුරයට පත්වෙලා කොමිෂන් සභා දෙකක් පත් කළා. ඉන් එකක් තමයි මහ බැංකු වංචා බැඳුම්කර කොමිසම. ඒ වාර්තාවල තිබෙන කරුණු අනුව මොන දේශපාලන පක්ෂයේද ශ්‍රීලංකාද යූ.එන්.පී. ද මොන පක්ෂයේද මට කිසිම පක්ෂයක් භේදයක් තනතුරක් කිසිම භේදයක් නෑ. ඒ සියලු දෙනාට නීතිමය වශයෙන් දඬුවම් කළ හැකි සියලු ක්‍රියාමාර්ගද මම ගන්න බවත් පැහැදිලිව කියන්න ඕන .''

සුද්ධෝදනල කවුද කියල පෙනෙයි!

''මම තව සතියකින් පමණ පත් කරනවා මිහින් එයා- ශ්‍රී ලන්කන් එයාලයින් ජනාධිපති කොමිෂන් සභාවක්. ඒවයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳව කොමිෂන් සභාව පත් කරලා කරගෙන යනකොට කගේ කාගේත් තත්වය පෙනෙයි. සුද්ධෝදනල කවුද කියල පෙනෙයි. ඒ නිසා ඉතා පැහැදිලිවම මම කියනවා මම පක්ෂය පිරිසිදු කරනවා වගේම ආණ්ඩුවත් පිරිසුදු කරන බව ඉතාම පැහැදිලිවම කියනවා“ යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය .

- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment