අක්කර 2000 ට වතුර දෙන්න අක්කර 20,000 ක් කපන ජනාධිපති තාත්තා !

අක්කර 2000 ට වතුර දෙන්න අක්කර 20,000 ක් කපන ජනාධිපති තාත්තා !
සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය හෙළිදරව් කරන අන්දමට විල්පත්තුව හා ඒ අවට අක්කර 19675ක් එළිපෙහෙළි කරමින් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතය. මල්වතු ඔය කප්පච්චි ප්‍රදේශයෙන් හරස් කර ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත වේල්ල හා ජලාශය නිසා තන්තිරිමලේ අවට ඇති අවශේෂ කැළෑ සහ විල්පත්තුව දැවැන්ත පාරිසරික අනතුරකට මුහුණ පා ඇති බවයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා හා පරිසරවේදී පුජ්‍ය වෑකඳවල රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කරන පරිදි පහළ මල්වතු ඔය ව්‍යාපෘති යෝජනාව අනුව ජලය රැස් කිරීම සඳහා කප්පච්චි අවට ප්‍රදේශයේ අක්කර දාහත් දහසක වනාන්තර සහ අවශේෂ කැළෑ ඉඩම් යට කිරීම සිදුවන අතර විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ( Buffer Zone) ආරක්‍ෂිත කලාපයේ අක්කර දෙදහසක් පළතුරු වගා කිරීම සඳහා පුද්ගලයන්ට හෝ ආයතන වෙත පවරා දීමට සැලසුම් කර තිබේ. එමෙන්ම නැවත පදිංචි කිරීම සඳහා තන්තිරිමලේ හා චෙන්ඩිකුලම් මාර්ගයෙන් බටහිර දෙසට වන්නට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අවශේෂ කැළෑ අක්කර හයසිය හැත්තෑ පහක් කපා දැමීමට යෝජනා කර ඇති බවද සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණ කරයි.
 
මෙම පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන දහතුනක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එම ණය මුදල ගෙවීම සඳහා චීන එක්සිම් බැංකුව එකඟතාව පළකර තිබේ. ඉදිකිරීම් සිදුකරන්නේ චීනයේ CAMC නමැති පෞද්ගලික ඉංජිනේරු සමාගම විසිනි. මෙම ව්‍යාපෘතිය සඳහා පසුගිය වසරේ ජූලි මාසයේදී  රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් මුල්ගල තබා ඇති නමුත් ඒ වන විට පරිසර ඇගයීම් වාර්තාවක් හෝ ලබා ගෙන නැත. මේ වන විට පරිසර අමාත්‍යාංශය විසින් එම පරිසර ඇගයීම් වාර්තාව සකස් කර තිබුණද එය අනාවරණ නොකිරීමට පරිසර අමාත්‍යාංශය වගබලා ගෙන ඇති බවයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. 
 
මෙම ව්‍යාපෘතිය මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීම් අවසන් කිරීමට 1960 දශකයේදී එවකට රජය රුසියානු රජය සමඟ එකඟතාවකට පැමිණ ඇති අතර "Thecnopro mexport" සමගම විසින් තක්සේරු අධ්‍යයනයක්ද සිදුකර තිබේ. රටේ වාසනාවට එය ක්‍රියාත්මක කිරීමට එදා  නොහැකි වී තිබුණද එම විනාශකාරී ව්‍යාපෘතියට පණ දීමට වත්මන් පාලනය මැදිහත්වී සිටියි. පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙවන් ව්‍යාපෘති අබියස නිහඬ පිළිවෙතක අනුගමනය කිරීම පෙනෙන්නට තිබීම සියල්ලට වඩා අවාසනාවන්ත තත්ත්වයකි. 
 
බහු ජාතික සමාගම් වල ආර්ථික බෝග වගාකිරීම වෙනුවෙන් අක්කර දෙදහසකට ජලය ලබා දීම සඳහා සිදුකරන මහා පාරිසරික හානිය මුදල් වලින් නැවත හැරවිය නොහැකි බවයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ. රටේ ජනාධිපතිවරයා ලෙසත් පරිසර ඇමතිවරයා ලෙසත්  පාරිසරික විනාශයන්ට තරාතිරම නොබලා දඬුවම් දීමට පසුබට නොවන බවට මෛත්‍රීපල සිරිසේන මහතා ඉතා හැඟීම්බරව ප්‍රකාශ කළද මේ සා විශාල විනාශයක් සඟවා ගෙන සිටින්නේද පරිසර අමාත්‍යාංශ්‍ය විසින් වීම කණගාටුවට කරුණකි. එතෙකින් නොනැවතී විල්පත්තුව නැසීම ගැන මුල ,මැද, අග රටට පහදාදීම  පසෙකලා බදියුර්දීන්ගේ බෙල්ල මිරිකීමට දත නියවාගෙන සිටින "පරිසර හිතකාමීන්" ද මෙවන් විනාශකාරී ව්‍යාපෘති මඟහැර යාම අතිශය ඛේදවාචකයකි.
 
(පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට අදාළ පරිසර අමාත්‍යාංශය විසින් කරන ලද පරිසර ඇගයීම් වාර්තාව ඇතුළු මේ සම්බන්ධ සවිස්තර ලිපියක් කඩිනමින් බලාපොරොත්තු වන්න)
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment