දසනායක විතරද ? එතකොට කරන්නාගොඩ ?

දසනායක විතරද ? එතකොට කරන්නාගොඩ ?
නාවික හමුදාපති කරන්නාගොඩට සම්පත් මුණසිංහ සමඟ පැවතියේ පුද්ගලික ආරෝවකි. සම්පත් මුණසිංහට එරෙහිව කරන්නාගොඩ ක්‍රියාත්මක වීමට එම අතිශය පෞද්ගලික කාරණාව බලපා තිබුණි. කුමන හේතුවක් මත හෝ සම්පත් මුණසිංහ කොටු වීමෙන් තරුණයින් 11 දෙනාගේ සිද්ධියේ අහුමුළු ද ඇවිස්සෙන්නට විය.
 
එවකට මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරියේ මෙම නඩුව විභාග කළ අවස්ථාවේදී ප්‍රකාශ ලබා ගත් නාවික හමුදා නිලධාරීන් 07 දෙනාගේ ප්‍රකාශයන්ට අනුව කළ විමර්ශනයන්ගෙන්  අනාවරණ වී තිබුණේ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ආරක්ෂකයාව සිටි ලූ‍තිනන් කමාන්ඩර්  සම්පත් මුණසිංහගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ  කණ්ඩායමක් විසින් උක්ත තරුණයින් 11 දෙනා පැහැරගෙන ගොස් ඇති බවය. ඊට  නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු  ඞී.කේ.පී දසනායක ගේ අධීක්ෂණයෙන් , ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන මෙහෙය වූ විශේෂ බුද්ධි කණ්ඩායමක්ද   දායක වී තිබේ. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත. පැහැරගත් තරුණයින් 2008 අගෝස්තුවේ සිට 2009 මාර්තුව පමණ දක්වා චෛත්‍ය පාරේ පිට්ටු බම්බුව නමින් හදුන්වන් ස්ථානයේ රඳවා සිටි අතර ත්‍රිකුණාමලය "ගන් සයිඩ්" භූගත කඳවුරේත් රඳවා ගෙන ඇත්තේ නාවික බුද්ධි අංශයේ අධීක්ෂණය මතය. පැහැර ගැනීමට ලක්වූ රජිව් නාගනාදන් ජංගම දුරකථනයක මාර්ගයෙන් ඔවුන් රැඳී සිටි ස්ථාන, ඔවුන්ව භාරව කටයුතු කළ නාවික හමුදා නිලධාරින් පිළිබඳ තොරතුරු සිය මවට දන්වා තිබු අතර රජිව් පැවසූ සියලුම කාරණා  සටහන් කර ගෙන ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණි. රජිව් පහර ගෙන තිබුණේ ඔහුගේ මෝටර් රථයත් සමඟ වන අතර කාලයක් එය ත්‍රිකුණාමලය කඳවුරේ භාවිතයට ගෙන ඇති අතර දසනායක සිය බිරිඳගේ උපන්දින තෑග්ග ලෙස  තෝරා ගෙන තිබුණේද රජිව්ගේ මෝටර් රථයයි. එම සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබුණි. එක්  අවස්ථාවකදී රජිව් සිය මවට පවසා තිබුණේ ඉක්මණින් ඔවුන්ව නිදහස් කරනු ඇති බවයි. සිය දරුවාගේ නිදහස් වෙනුවෙන් භාර වීමට ඒ අම්මා ඉන්දියාවට පවා යන්නේ පැවති විශ්වාසය අනුවය. ඒ වන විට තරුණයින් නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලීමද කෙරෙමින් පැවතුණි. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි ලබා ගෙනද තිබේ.
 
මේ අතර හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා නාගනාදන් පවුලේ සමීපතමයෙක් වූ අතර දරුවන්ගේ අතුරුදහන් වීම පිළිබඳවත් වරින් වර රජිව් සිය මවට කතා කර පැවසූ තොරතුරුත් ඔවුන් හිටපු අමාත්‍යවරයාට පවසා තිබුණේ දේශපාලන හිත්වත්කමෙන් හෝ දරුවන් නිදහස් කර ගැනීමේ අරමුණිනි. සිද්ධිය සම්බන්ධයෙන් වරක් ෆීලික්ස් පෙරේරා හිටපු නාවික හමුදපති වසන්ත කරන්නාගොඩ වෙත පවසා තිබූ අතර එහිදී කරන්නාගොඩ පවසා තිබුණේ ලිඛිතව සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත දැනුවත් කරන ලෙසයි. දරුවන්ගේ විස්තරද ලබා දෙන ලෙස හිටපු නාවික හමුදාපතිවරයා ෆීලික්ස් පෙරේරා මහතාට දන්වා තිබේ. දරුවන් සිටින්නේ නම් ඔවුන් නිදහස් කරගැනීමට හැකියාව ඇති බවද කරන්නාගොඩ මහතා හිටපු අමාත්‍යවරයාට පවසා ඇත. ඒ අනුව කඩිනමින් කරන්නාගොඩ මහතාගේ ඉල්ලීම ඉටු කිරීමට තරුණයින්ගේ ඥාතීන් කටයුතු කර තිබේ. එහෙත්  හිටපු නාවික හමුදාපතිවරයාගෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර කරන්නාගොඩ මැදිහත්වීම එතෙකින්ම නිමා වී ඇත. 
 
කොමදෝරු දසනායකලාගේ සාහසික ක්‍රියා ගැන සාක්ෂි ලබා දී තිබුණේද නාවික නිලධාරීන් විසිනි. 2007 වසරේ සිට දසනයකලා හමුදා බලය යොදා ගෙන ඊට මුවාවෙමින් කරන ලද අපාරාධ පිළිබඳ නාවික නිලධාරින් විසින්ම හිටපු ජනාධිපතිවරයාට හා වත්මන්  ජනාධිපතිවරයාටද ලිඛිතව දන්වා තිබේ. කප්පම් වෙනුවෙන් පුද්ගලයින් පැහැරගැනීම දසනායකලාගේ එවකට විනෝදාංශය වී තිබුණේදැයි ප්‍රශ්න කිරීම වටියි. දසනායකලාට විරුද්ධව සාක්ෂි දීමත් සමඟ ඔවුන්ට එල්ල වූ තාඩන පීඩන නිසා එලෙස දැනුවත් කිරීම් කිරීමට එම නිලධාරින්ට  සිදුව ඇත. මේ අතර  ඇමරිකාවේ පාඨමාලාවකට ගොස් සිටි අතරවාරයේ මෙරටට පැමිණ තරුණයින් 11 දෙනාගේ අතුරුදහන් වීමේ සිද්ධිය පිළිබඳව අධිකරණය හමුවේ කොමදෝරු දසනායක ප්‍රකාශයක්ද ලබා දුන්නේය. ඒ වන විටත් දසනායකලට එරෙහිව චෝදනා එල්ල වී තිබූ හෙයින් නැවත විදෙස් ගතවීම වැලැක් වූ අතර ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. දෙපා වාරුවෙන් සෞඛ්‍ය සම්පන්නව සිටි දසනායක හදිසියේ නැගිටගන්න බැරි ලෙස  රෝගාතුරු වන්නේ අධිකරණ  නියෝගයත් සමඟය. ක්‍රිකට් සෙල්ලම් කිරීම නිසා තමන් අසනීපයෙන් සිටින බව කොමදෝරු දසනායක අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දසනායකලාගේ ක්‍රිකට් සෙල්ලම ගැනද විමර්ශන කර තිබේ. එහෙත් දසනායකලා කළ ක්‍රිකට් සෙල්ලමක් ගැන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැත. කෙරුම්කාරකම් සියල්ල තම තමන් වටේම භ්‍රමණය වෙන්නට පටන් ගැනීම නිසාම හදිස්සියට ක්‍රිකට් මතක් වුවා විය හැකිය. ඉන් කම් නැත. සිද්ධියේ තවත් සැකකරුවෙකු වන  හෙට්ටිආරච්චි නිලධාරියා තවමත් සිටින්නේ අධිකරණය මඟ හරිමින්ය.දසනයකලාගේ රණවිරු කිල්ලෝට වල තරම දැන් අනාවරණ වී තිබේ. දසනයකලා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ගම්මන්පිලලාගෙන්ම එය සනාථ වී හමාරය. එහෙත් එය සමාජගත වීම වළක්වා ගැනීමටද අද තුරුම්පුව ලෙස යොදා ගන්නේ රණ විරු ලේබලයමයි. 
 
ප්‍රශ්නය වන්නේ එවකට නාවික හමුදාපති කරන්නාගොඩටත් හොරා කරන  දසනායලාකගේ බුද්ධි මෙහෙයුම්ය. දැන් දසනායකලා කියන්නේද අවකැපෙන කිසිදු වැඩක් කර නොමැති බවය. විශේෂයෙන් තරුණයින් 11 දෙනාගේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරගෙන ඇති කාරණාවලට වගකිවයුතු දසනයකලා මොවුන් නොවන්නේද? එසේ නම් ඒ දසනායකලා කවුද? හතර පැත්තෙන්ම හිනා යන්නේ මෙන්න මේ වගේ වෙලාවටය. අපරාධමය කටයුතු සඳහා නොනිල කණ්ඩායමක් නාවික හමුදාවේ ක්‍රියාත්මක වූ බවට සාක්ෂි දෙන්නේ නාවික හමුදාවේම නිලධාරීන්ය. ඔවුන් ඒ වග රාජ්‍ය නායකත්වය පවා දැනුවත් කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ එවකට නාවික හමුදාපතිවරයා අහවල් කාරියක් කරමින් සිටියේද?  කරන්නාගොඩ දෙකේ පන්තියේ බබෙක් නොවන බව අපි හොඳාකාරවම දනිමු. 
 
පැහැර  ගැනීමට ලක්ව අතුරුදහන් වූ තරුණයින් 11 දෙනාට මුලින්ම එල්ල වූ චෝදනාව වූයේ ඔවුන් LTTE හිතවාදීන් බවයි. එහෙත් සිද්ධිය කප්පම් ගැනීම වෙනුවෙන් සැලසුම්කරන ලද්දක් බවට අනාවරණ වීමෙන් පසුව LTTE චෝදනාව පසෙකින් තැබීමට "සිංහල දේශප්‍රේමීන්ට" සිදුවිය. මේ අතරම දසනායකලාගේ සිංහල අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන්ද අපි තොරතුරු අනාවරණ කළෙමු. මේ අනුව නාවික හමුදාවේ අභ්‍යන්තරයේ නොනිල ලෙස එහෙත් බාධාවකින් තොරව අපරාධමය සිද්ධි සිදුව ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබියදී කරන්නාගොඩට අතපිහදා  ගත නොහැකිය. එදා නාවික හමුදාව භාර කර තිබුණේ ඔහුටය. රණවිරු නාමයෙන් මේ කිසිවෙකුට හෝ වසන් විය නොහැකිය. බලපුළුවන්කාරකම් අනපේක්ෂිත මොහොතක අහිමි වී යා  හැකිය. එවිට හෙළුව ප්‍රදර්ශනය වනු ඇත. 
 
පසුගිය පාලන සමයේදී සිදුවූ පැහැර  ගැනීම්,අතුරුදහන් වීම්, සුදු වෑන් කල්ලි හිතළු නොවේ. සැබෑ ලෙසම සිදුවූ දේවල්ය. කෙරුම්කාරකම් එකින් එක හෙළිදරව් වන විට සර්වාංගයම දැවෙන්නට ගැනීම පුදුමයක් නොවේ. දසනයකලා පිටුපස තවත් කතන්දර බොහොමයක් වනු ඇත. රාජ්‍යයක නිල හමුදාවකට නොනිල හමුදාවක් හිතුමනාපෙට සාදා ගැනීමට නොහැකිය. ඒවා ඉබේ සිදුවන්නේද නැත. එහෙයින් අන්ධයන් කිරි කන ආකාරයෙන් හිතන්නට ගියහොත් මුල,මැද,අග ලිහා ගැනීමට නොහැකි වනු ඇත. එවිට දේශප්‍රේමයේ බැටළු හම් පොරවා ගත් වෘක්කයන් යෙහෙන් වැජඹෙනු ඇත.  මෙම කාරණයේදී දසනායකගෙන් නොනැවතී කරන්නාගොඩ දෙසත් ඉන් එහාටත් බැලිය යුතු වන්නේ වෘක්කයන් අනාවරණ කරගැනීම වෙනුවෙන්මය. 
 
ආශිකා බ්‍රාහ්මණ  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment