ගිවිසුම අත්සන් කෙරුනේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධු මහතා සහ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතරයි.
මෙම ගිලන් රථ සේවාව ආරම්භ කිරීමේදී රජයට විවිධ පාර්ශ්වයන්ගේ විරෝධතා එල්ල වූ බවත් විශේෂයෙන් වෛද්‍ය සංගම් විසින් දැඩි විරෝධයක් එල්ල කළ බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එහෙත් මෙම සේවාව හරහා රෝගීන් විශාල ප්‍රමාණයක් බේරාගැනීමට හැකි වූ බවත් ගර්භනී මව්වරුන් වැනි හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට විශාල සහනයක් වී ඇති බවත් පෙන්වා දුන් රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ වෛද්‍ය සංගම්වල විරෝධය දැන් පුස්සක් බවට පත්ව ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා,
'ඉන්දීය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හොද ගිලන් රථ සේවාවක්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ලබාදුන් මෙම ගිලන් රථ සේවාවෙන් විශාල සේවාවක් ඉටු වෙනවා. බස්නාහිර සහ දකුණ පළාත්වල ගිලන් රථ සේවාව ආරම්භ වූ පසු මිලියන 05 ක පමණ ජනතාවක් සේවය ලබාගෙන තිබෙනවා. අද දින සිට මෙම ගිලන් රථ සේවාව දීප ව්‍යාප්ත කිරීමෙන් විශාල පිරිසකට එම සේවාව ලබාගත හැකි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව වසරක් තුල දි හදිසි අනතුරු වලින් පුද්ගලයින් 25,000 ක් පමණ මිය යනවා. ඉන්දීය ගිලන් රථ සේවාව මගින් පසුගිය කාලයේ දී හදිසි අනතුරු වලට ලක්වූවන්ගෙන් 58,441 ක් ප්‍රතිකාර ලබාගැනීම සදහා රෝහල් ගත කිරීමට රැගෙන ගොස් තිබුනා. මෙම ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට ප්‍රථම ඇතැම් ගම්වල හදිසි අනතුරුවලට ලක්වූවන් ප්‍රවාහනය කළේ ත්‍රිරෝද රථ වලින්. එම නිසා මෙම සේවාව ඉතා වැදගත් වෙනවා.'
'දැනට මෙහි 489 ක් ශ්‍රී ලාංකිකයින් සේවය කරන අතර, එය නව ගිවිසුමට අනුව 1600 දක්වා වැඩි වෙනවා. එය ශ්‍රී ලංකාවේ රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට ලැබුණු දායාදයක් ද වෙනවා. ඔවුන්ට ඉන්දියාවේ දී විශේෂ සෞඛ්‍ය පුහුණූවක් ද ලැබෙනවා. මෙම ගිලන් රථ සේවාව ආරම්භ කරන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ අවලාද, චෝදනා ඉදිරිපත් කළා. නමුත් එම චෝදනා අද පුස්සක් වී තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ රෝහල්වලට අවශ්‍ය තවත් ගිලන් රථ 400 ක් රජය විසින් ඉදිරියේ දී ලබාගන්නවා. ජර්මනියෙන් හදිසි ප්‍රතිකාර හෙලිකොප්ටර් යානා 08 ක් සහ ආපදා රථ 24 ක් ලබා ගන්නවා. එවිට හොද ගිලන් රථ සේවාවක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකයි.'
'මේ සදහා ගත් පියවර අග්‍රාමාත්‍යවරයා ද අනුමත කර තිබෙනවා. වාර්ෂිකව හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගෙන් බහුතරයක් මිය යන්නේ ක්ෂණිකව රෝහල් කරා ගෙනයාමට නොහැකි වීම නිසයි. මෙම ගිලන් රථ සේවාව විධිමත්ව ක්‍රියාත්මක කිරීම තුලින් එම ජිවිත බේරා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ගුවණින් සහ ගොඩබිමින් ගිලන් රථ සේවා ක්‍රියාත්මක කිරීමෙන් රෝගී ජිවිත බේරා ගැනීම අපගේ අරමුණයි. ත්‍රිරෝද රථයෙන් රැගෙන ගිය රෝගියා ගිලන් රථයකින් රෝහල් කරා ගෙනයාම යහපාලන රජය ලැබූ ජයග්‍රහණයක් ද වෙනවා.'
0 comments :
Post a Comment