ආදරණීය රෝස ටෙස්ට් තරඟය..

ආදරණීය රෝස ටෙස්ට් තරඟය..
පලමුවෙන්ම අප දැනගත යුතු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සම්ප්‍රදායක් තියෙනවා. දිගු ඉතිහාසයකට හිමිකම් කියන ඕස්ට්‍රේලියානු ටෙස්ට් ඉතිහාසයේ ඊටම අනන්‍ය වූ සාම්ප්‍රදායික කාරණා රාශියක් තියෙනවා. හරියට බොක්සිං ඩේ ටෙස්ට් තරඟය වගේ අලුත් වසරක මුල්ම ටෙස්ට් තරඟ පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඒක හරියට ශ්‍රි ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරඟමාලාවක පළමු තරඟය ගාල්ලේ ආරම්භ වෙනවා වගේ දෙයක්.
 
දෙවනි කාරණය තමයි රෝස ටෙස්ට් තරඟයේ උපත. මේ සිද්ධියට කතානායකයා වන්නේ ඕස්ට්‍රේලියානු ප්‍රබල වේග පන්දු යවන්නෙක්. ග්ලේන් මැග්‍රාත්. ඉතාමත් දක්ශ වේග පන්දු යවන්මෙක් වගේම ආදරණීය සැමියෙක් විදියටත් මැග්‍රාත් ක්‍රිකට් ලෝකය තුල ප්‍රසිද්ධයි. නමුත් අවාසනාවන්ත ලෙස මැග්‍රාත්ගේ සුන්දර පවුල් ජීවිතයට අඳුරු සෙවණැල්ලක් පතිත වෙනවා. ඒ ඔහුගේ ආදරණීය බිරිඳ 2005 දී පියයුරු හා අස්ථි පිළිකාවකින් පෙළෙනවා කියල වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් එක්ක.
 
ජිවිතයේ ඉතාම දුක්ඛදායී අවස්ථාවක ඇය වෙනුවෙන් මැග්‍රාත් පියයුරු පිළිකා නිවාරණ ස්වේච්ඡා සංවිධානයක් ආරම්භ කරනවා. Magrath Foundation එහෙමත් නැත්තම් මැග්‍රාත් පදනම ආරම්භ වෙන්නේ ඒ අනුව. ඔහුගේ අරමුණ වෙලා තිබුණෙ පියයුරු පිළිකා පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම ,නිවාරණය හා පියයුරු පිළිකා රෝගයට ගොදුරුවී සිටින කාන්තාවන් හා ඔවුන්ගේ පවුල් රැකබලා ගැනීම.
 
වර්ෂ 2008 දී මැග්‍රාත් මහත්මිය පිළිකා රෝගයෙන් මියයාමත් සමඟම ඇයට උපහාරයක් වශයෙන් මැග්‍රාත් පදනමේ වැඩකටයුතු පුලුල් කරන්නට ග්ලේන් මැග්‍රාත් තීරණය කරනවා. ඔහු ඒ සඳහා තෝරාගන්නේ ඔහු බිරිඳට පසුව පෙම්බැදි ක්‍රිකට් පිටිය. 2009 වසරෙදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සුපිරි වේග පන්දුයවන්නාට කරන කෘතඥතාවක් විදියට මැග්‍රාත් පදනම සමඟින් අත්වැල් බැඳගන්නවා.
 
ඒ අනුව ග්ලේන් මැග්‍රාත්ගේ උපන් ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් හී සිඩ්නි ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන වාර්ශික පළමු ටෙස්ට් තරඟය මෙම පදනමේ අරමුදල් සවිමත් කිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්න ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය තීරණය කලා. මැග්‍රාත් 2005 වසරේ තම අවසන් ටෙස්ට් තරඟය ක්‍රිඩා කලේත් මේ සිඩ්නි ක්‍රීඩාංගණයේදීමයි.
 
ඒ අනුව මැග්‍රාත් පදනමේ නිල වර්ණය වූ රෝස පැහැයෙන් සිඩ්නි ටෙස්ට් තරඟයේ තුන්වන දිනය සරසවන්න ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කලා. මෙම තරඟයේ සියලුම ආදායම් මැග්‍රාත් පදනමේ අරමුදලට බැර කෙරෙනවා. 2009 වර්ශයෙ ඉදන් නොකඩවා මෙම රෝස ටෙස්ට් තරඟය පැවැත්වීමත් දැන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතිය තුල අපූරි අංගයක් වෙලා.
 
ඒ අනුව මෙවර අළු බඳුන තරඟමාලාවේ අවසන් ටෙස්ට් තරඟය 10 වන රෝස ටෙස්ට් තරඟය ලෙසින් සටහන් වෙනව. මෙම තරඟයෙන් ඩොලර් මිලියන 1.3ක අධාර මුදලක් මැග්‍රාත් පදනම මෙවර අපේක්ශා කරනවා. එමඟිම් පියයුරු පිළිකාවෙන් පීඩා විඳින පවුල් 1000කට අවශ්‍ය කරන මූල්‍යමය හා වෛද්‍යමය ආධාර දෙන්න පදනම අපේක්ශා කරනවා. ආධාර කටයුතු ආරම්භවෙලා පැය 10ක් ඇතුලත ඩොලර් 7000කට අධික අධාර ප්‍රමාණයක් පදන්මට ලැබිලා තියෙනවා.
 
අසංක අරඹෙගොඩ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment