දෙපැත්ත කන අය ගියාට කමක් නැහැ - රංජිත් මද්දුම බණ්ඩාර

දෙපැත්ත කන අය ගියාට කමක් නැහැ - රංජිත් මද්දුම බණ්ඩාර
ගෙවුණු තුන් වසර ගැන මොකද හිතෙන්නේ ?
 
වසර තුනට අපි මේ රටේ කළ වෙනස් කම් බොහොමයි. ප්‍රජාත්‍රන්තවාදී ස්වාධීනත්වය ඇති කිරීම, රාජ්‍ය සාධාරණත්වය මෙන්ම බිය සැක නොමැතිව ජිවත් වීමේ වාතාවරණයක් සකස් කර දීම ඒ අතර ප්‍රධානයි.  
 
එ්ත් ඇමතිතුමා බඩු මිළ ඉහළයි නේ ?
 
බඩු මිල ගත්තම හාල් පොල් ඇරෙන්න අනිත් භාණ්ඩවල මිල අඩු වෙලා. ජනතාවට සෞඛ්‍ය, අධ්‍යාපනය පැත්තෙන් අපි සහන සලසා තිබෙනවා.
 
පළාත්පාලන මැතිවරණයෙන් මොකක් වෙයිද ?
 
කවුරුත් දන්නවා මේක එක්සත් ජාතික ආණ්ඩුවක් බව. ජනාධිපති පත් කළෙත් එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ වගේම ආණ්ඩුව පත් කළෙත් එක්සත් ජාතික පක්ෂයෙන්. මේකට මුක්කු ගහපු පිරිස් වගේම විපක්ෂයේ පිරිස් නොයෙක් දේවල් පවසනවා. නමුත් ජනතාව බොහොම බුද්ධිමත්, ඒ නිසා ජනතාව දන්නවා වැඩක් කර ගන්න නම් බලයේ සිටින ආණ්ඩුවට පළාත්පාලන ආයතන ලබා දිය යුතු බව. 
 
ඒ කියන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එජාපයට ජය නියතයි ද ?
 
බලයේ සිටින එජාපයට ජනතාව ඡන්දේ ලබා දෙනවා. ඔය කෑ ගහන සන්ධානයේ එක්කෙනෙක්වත් ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් අය නොවෙයි. ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අද හැප්පෙනවා. එජාපයට තමයි ජනවරම දී තිබෙන්නේ. ඒ ජනවරම නැවත ශක්තිමත් වෙනවා. රටේ වැඩ ගොඩක් කරන්න තිබෙනවා. ආර්ථික කළමනාකරණය නියමාකාරයෙන් සිදු වෙනවා මේ කාලයේදී.
 
මහින්ද මෛත්‍රී සුසංයෝගය ගැන ගෙතෙන කතාවල තවම අඩුවක් නම් පෙනෙන්න නැහැ. මේ පුවත්වල සත්‍යයක් තිබෙනවා කියලා ඔබ සිතනවද ?
මේ දෙන්නාගෙන් එක්කෙනෙක්, අඩි හයක් වල යටට දානවා කියනකොට අනිත් කෙනා හොරු අල්ලන්න ඕන කියුවා. මේ දෙන්නා එකතු කිරීම හරියට උතුරයි දකුණයි එකතු කරනවා වගේ අමාරු වැඩක්. ඔය දීගේ හරි යන්නේ නැහැ. ඒ දීගේ හරි යනවා නම් එය හරි යන්න ඕන මේ මැතිවරණයට.
 
ඔබ එජාපයේ ප්‍රභල සාමාජිකයකු විදිහට යහපාලන රජය පිහිටුවන්න පුරෝගාමී වූ අයෙක්. එහෙම වෙලා ඔබලා එකතු කළ රනිල් - මෛත්‍රී ගේ දීගේත් පැහුණේත් නැහැනේ ?
 
පක්ෂ දෙකක් ආණ්ඩු කරනකොට ප්‍රශ්ණ පැන නගිනවා. බුද්ධිමත් දේශපාලනඥයෝ වුණාම හදිසි තීන්දු තීරණ ගන්නේ නැතුව රට වෙනුවෙන් කල්පනා කර තීන්දු ගත යුතුයි. අපේ නායකයන් වගේම සියලු දේශපාලනඥයෝ පක්ෂ වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් කල්පනා කළ යුතුයි.
 
දැන් එහෙම ආණ්ඩුව එක්ක එකතු වුණ අයත් ආණ්ඩුවේ ඉන්න බැහැ කියලා ඉවත් වෙනවා නේද ?
 
ඔව්. ඉන්න බැරි කට්ටිය දෙබිඩි ප්‍රතිපත්තියක නොසිට ඉවත් වෙන එක හොඳයි. මේ ආණ්ඩුවේ ඉන්නේ රට වෙනුවෙන් දෙයක් කරන පිරිසක්. ආණ්ඩුවට ඇවිල්ලා ඒ මැති ඇමති තනතුරුවලින් තමන්ට සහ පක්ෂයන්ට ප්‍රතිලාභ මෙන්ම සැප සම්පත් ලබා ගන්න උත්සහ කරන අය ඉන්නවා. එය නෙමෙයි විය යුත්තේ. ඒ නිසා දෙපැත්ත නොකා යන එක හොදයි.
 
ඔබලා එදා දුන් පොරොන්දු ඉදිරි වසර දෙකේදිවත් ඉටු වෙනවාද ?
 
අනිවාර්යෙන්ම ජනතාවට දුන් පොරොන්දු පත්‍රය බැලුවම වැඩි කොටසක් අපි ඉටු කරලා අවසන්. බඩු මිල, තෙල් මිළ අඩු කළ. ගොවීන්ට සහන ලබා දී තිබෙනවා. යහපාලනය, ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කර තියෙනවා. මාධ්‍ය නිදහස ලබා දී තිබෙනවා. සමහර මාධ්‍ය නම් ලබා දී තියෙන නිදහස අයුතු විදියට භාවිතා කරනවා. මාධ්‍ය දැන ගන්න ඕන නියම සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙන්න.
 
නව වසරේ ලංකාවාසීන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද ?
 
සාමය සමෘද්ධිය ඇති වෙන්න ඕන. ජනතාවට හොඳ ආර්ථිකයක් වගේම අනාගත පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරන්න අවශ්‍ය ගමන අපි යනවා.
 
සාකච්ඡා කළේ - අශන්ති වරුණසුරිය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment