සමනළී සමන්මලී සංවාදය - ලියනගේ අමරකීර්තිට පිළිතුරක්

සමනළී සමන්මලී සංවාදය - ලියනගේ අමරකීර්තිට පිළිතුරක්

 

කෙසේ වුවත්, ප්‍රශ්නය පුළුල්ව වටහා ගන්නට ලියනගේ අමරකීර්තිගේ දායකත්වය අප කව්රුත් අවංකව භාර ගත යුතු යයි මම සිතමි. ඔහු සමන්මලී ගුණසිංහ අතින් මේ මතභේදකාරී ප්‍රකාශය සිදු වන්නට බලපෑ සංකීර්ණ සමාජ, සංස්කෘතික සහ බුද්ධිමය තත්ත්වයන් වටහා ගන්නට ආරාධනා කරන අතර 'සමන්මලීලා' සහ 'සමනලීලාට' එක්ව අරගල කරන කරන ලෙස ඉල්ලා සිටියි. අමරකීර්ති ප්‍රශ්නය මග නොහැර බැරෑරුම්ව භාරගෙන තමන්ද සහාය දක්වන දේශපාලන පක්ෂය ගැන විවේචනාත්මකව අදහස් පළ කරන බැවින් ඔහුගේ ඉදිරිපත් කිරීම විචාරයට ලක් කිරීම ප්‍රයෝජනවත්ය. අමරකීර්තිගේ පරිකල්පිත 'සමන්මලීලා'-'සමනලීලා' (සහ තවත් අයගේ) එකතුවකින් කෙරෙන ස්ත්‍රී අරගලයක් ගැන අදහස ඉතා වැදගත්ය.

නමුත්, එවන් එකතුවකට ඇති අවකාශය අහුරනු ලැබූයේ කව්රුන්ද? සමනලී ඇතුළු තවත් බොහෝ ස්ත්‍රී සමාජ ක්‍රියාකාරීන් 2015 අගෝස්තුවේදීත් සහය දුන්නේ ජවිපෙටය. ස්ත්‍රී සමානත්වය පිලිබඳ අරගලයට 'සමන්මලීලා' එක් කර ගන්නට මා දන්නා පරිදි කිසිදු ස්ත්‍රී අයිතීන් පිලිබඳ සංවිධානයක් අකමැති නොවනු ඇත. නමුත්, එවැන්නකට බාධාව ආවේ සමන්මලීගේ ප්‍රකාශයෙනි. ඇය එවන් ප්‍රකාශයක් කිරීමට බලපෑ කතිකාමය තත්ත්වයන් ගෙනහැර දක්වමින් හෝ ඇය සහ ඇගේ පක්ෂය වෙනුවෙන් 'සමාවට කරුණු' දැක්වීමෙන් මේ මූලික කරුණ මග හැර යා නොහැකිය. ඕනෑම ව්‍යාපාරයක් ගොඩ නැගෙන්නේ යම් යම් ව්‍යුහාත්මක තත්ත්වයන් තුළය. නමුත්, එයින් කෙසේවත් දේශපාලන ඒජන්තයාගේ භූමිකාව අව-අවධාරණය නොවේ. අමරකීර්ති හොදින් දන්නා පරිදි අයික්මාන් ගැටලුවේදී හැනා අරෙන්ඩ් ඉදිරිපත් කළ සුවිශිෂ්ට දේශපාලන න්‍යායික අවධාරණයක් වූයේ එයයි. (ෆැසිස්ට්වාදීන්ට වුවත් කොතරම් 'ව්‍යුහාත්මක සමාවට කරුණු' දැක්විය හැකිද?). මෙතැන ප්‍රශ්න කෙරී ඇත්තේ ඒ ඒජන්තයාගේ භූමිකාවයි.

වෙනත් සංධර්භයක දයාපාල තිරාණගමද මෙවන් ප්‍රශ්නයක් ජවීපෙ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබිණ. එය මගේ වචනයෙන් කිවහොත් මෙසේය. ජවිපෙ සිංහල ජාතිකවාදී වූයේත් සෙසු වාම ක්‍රියාකාරීන් ඝාතණය කරන තරම් දුරකට ගියේත් කුමන ව්‍යුහාත්මක/කතිකාමය තත්ත්වයන් යටතේදැයි කෙනෙකුට විග්‍රහ කළ හැකිය. නමුත්, පීඩනයට පත් දෙමළුන්ට හෝ ඝාතනය කෙරුණු වාමාංශිකයන්ගේ පවුල්වල අයට ඒ විග්‍රහයෙන් ඇති පලය කීම? තත්ත්වයන්ට වරද පටවා දේශපාලන ව්‍යාපාරවලට නිදොස් විය හැකිනම් දේශපාලනය යන්නෙහි කිසිදු තේරුමක් නොමැති වනු ඇත. (අමරකීර්ති කියන්නේ එවැන්නක් නොවන බව මම විශ්වාශ කරමි. නමුත්, මට මෙහිදී අවශ්‍ය ඔහුගේ විග්‍රහය තුළ අද්දරට තල්ලු වී ගියා සේ මට හැඟෙන දේශපාලන ඒජන්තයාගේ භූමිකාව යළි අවධාරණය කිරීමටය.)

ඒජන්තයාගේ භූමිකාවේ දෘෂ්ටියෙන් ප්‍රශ්නය දෙස බැලූ විට මෙහිදී සමන්මලී හෝ ජවිපෙ කෙසේවත් අහිංසක නොමැති බව කිව හැකි වනු ඇත. ඒ මන්ද? ඇය මෙකියන ප්‍රකාශය කළේ ස්ත්‍රියට නීතිය ඉදිරියේ අසමානව සැලකීමට එරෙහිව ස්ත්‍රී සමාජ ක්‍රියාකාරීන් හඬක් නගමින් සිටි මොහොතකය. පෙරලා ඒ ස්ත්‍රී ක්‍රියාකාරීන්ට එරෙහිව විවිධාකාර අවලාද නැගෙමින් පැවති මොහොතකදීය. එම අවලාද සඳහා භාවිතයට ගත හැකි දෘෂ්ටිවාදී ආයුධවලින් සමන්මලීගේ ප්‍රකාශය පිරී තිබිණ. 'ලිබරල් බේබද්දියන්', 'එජාප ගැත්තන්', 'දේශීය සංස්කෘතිය වනසන්නන්', 'බටහිර අධිරාජ්‍ය ගැත්තන්' යනාදී ලේබල් ඒ අතර ප්‍රමුඛය. තවමත් ඒ දෘෂ්ටිවාදී ආයුධවලින් ඇතැම් ජවිපෙ ක්‍රියාධරයන්ද ඇතුලු පුරුෂ ලිංගික ගතානුගතිකවාදීන් 'සමනලීලාට' පහර දෙමින් සිටී. එබැවින් සමන්මලී හෝ ජවිපෙ තම ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා තෙක් ඔවුන් සිටින්නේ ස්ත්‍රී සමානත්ව ක්‍රියාකාරීන්ට පහර දෙන්නන්ගේ පිළේය. හිතවත් අමරකීර්ති, එකතුවකට බාධාව ඇත්තේ එතැනය. එය ඉවත් කරන්නට උත්සාහ කරන්න.

මේ අතර යළිත් මැතිවරණ ප්‍රයෝජ්‍යතාවාදයේ සෙවණැල්ල යටින් 'සමන්මලී මොනවා කිව්වත් ජන්දෙදි අපි ජවිපෙට" යන උදෘතය මතුව තිබේ. මෙසේ කියන අය අහෝසි කරගන්නේ අඩු තරමින් ජවිපෙට පිටතින් බලපෑම් කණ්ඩායමක් ලෙසවත් ඉඳීමේ තම හැකියාවයි. මන්ද යත් මෙසේ කියන තරමට ජවිපෙට තම ප්‍රකාශය (සහ ස්ථාවරය) වෙනස් කරගන්නට හේතුවක් නොමැති වනු ඇත. මින් පෙනී යන්නේ දැන් ජවිපෙට අභ්‍යන්තරිකව ප්‍රතිසංස්කරණය වීමට කුඩා බලපෑමක්වත් ජවිපෙ සහායකයන්ගෙන් නොලැබෙන බවයි. එහෙයින් සමන්මලීගෙන් ප්‍රකාශිත ස්ථාවරය දිගටම පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඒ සියලු දෙනාද වක්‍රව වග කිව යුතුය.

අවසන් වශයෙන් කිව යුත්තේ මෙය කිසිවෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට බාධා කරන අරමුණින් ලියූවක් නොවන බවයි. ඔබලා කැමති නම් ජවිපෙට ජන්දය දෙන්න. මෙවර ජවිපෙ ප්‍රාදේශීය සභා හෝ නගර සභා නියෝජිත සංඛ්‍යාව වැඩි වූවා කියා සිදුවෙන කිසිදු කෙංගෙඩියක් නැති බවයි මගේ වැටහීම. මැතිවරණ තරඟ එයි, යයි. නමුත්, ස්ත්‍රීන්ට ඇති ප්‍රශ්නය එය නොවේ; පීඩිත පංතිවලට සහ ජනවර්ගවලට ඇති ප්‍රශ්නය එය නොවේ. ඔවුනගේ ප්‍රශ්න මුල් කොටගත් දේශපාලනය මැතිවරණ දේශපාලනයෙන් නිර්වචනය වෙමින් තිබීමය ගැටලුව. මැතිවරණ නිමවන තෙක් විවේචක බුද්ධිමතුන් දෘෂ්ටිවාදී අරගලයට නිවාඩු දීමය ගැටලුව. මැතිවරණ ප්‍රයෝජ්‍යතාවාදය විසින් විමුක්ති දේශපාලනය ග්‍රහණය කර ගැනීමය ගැටලුව. එහෙයින් දැන් දේශපාලනයේ මූලධාර්මික අරගලය දෙස යළිත් හැරිය යුතුය. එනම් දේශපාලනය වන්නේ කුමක්ද නොවන්නේ කුමක්ද යන්න නිශ්චය කිරීමේ දේශපාලන අරගලයයි. ඊළඟ ජන්දෙට කරන්නේ මොකද්ද කියන පටු ප්‍රශ්නෙන් එළියට ඒමට මග ඇත්තේ එතැනය.

මට හැඟෙන්නේ මෙය විමුක්ති දේශපාලනයේ සියලු ධාරාවන් විසින් බාර ගත යුතු අභියෝගයකි.

- සුමිත් චාමින්ද

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment