ජාතික වෙඩි තැබීමේ සංගමයේ ශිරන්ත පීරිස්ගේ තවත් ගැහිල්ලක් - 2 කොටස

ජාතික වෙඩි තැබීමේ සංගමයේ ශිරන්ත පීරිස්ගේ තවත් ගැහිල්ලක් - 2 කොටස
පතරොම් වලට අමතරව අවි ගෙන්විමේදීද ඔහු කටයුතු කර ඇත්තේ විනිවිදභාවයකින් තොරවය. අවම වශයෙන් රජයේ ටෙන්ඩර් පටිපාටිය හෝ අනුගමනය කිරීමට උප සභාපති ලෙස හෝ කටයුතු කර නැත. ඒ අනුව Pro - Forma  Invoice යේ සඳහන් අවි 08 ජාතික වෙඩි තැබීමේ සංගමය නමින් ගෙන්වා ඇති අතර එමඟින්ද ඔහු විශාල මුදලක් තම පසුම්බියට හොර රහසේම දමා ගෙන තිබේ. එම අවි ගෙන්වා ඇත්තේ ඕස්ට්‍රේලියානු සමාගමකින් වන අතර එහි වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් 5625කි. ඊට මෙරට මුදලින් රු.6,96,134.25ක මුදලක් කොමර්ෂල් බැංකුව හරහා යවා ඇති බව හෙළි වී තිබේ. අවි 08 ගෙන්වීම සඳහා ඉන්වොයිසියේ සඳහන් එම මිලට අනුව එක් අවියක මිල රු. 87,016.78කි. ආසන්න වශයෙන් එය රු.87,017කි. මෙම මුදල ඕස්ට්‍රේලියානු සමාගමට ලබා දෙන ලෙස ඉල්ලමින් ශිරන්ත පීරිස් මහතාගේ අත්සනින් යුතුව ජාතික වෙඩි තැබීමේ සංගමයේ භාණ්ඩාගාරික වෙත ලිපියක්ද යවා තිබේ. අවසානයේදී සුපුරුදු ක්‍රීඩාවට අවතීර්ණ වෙමින් ශිරන්ත පීරිස්  එක් අවියක් විකුණා ඇත්තේ රු.8,70,875.95 ක මුදලකටය. පතරොම් වලට මෙන්ම අවි වලට ගෙවිය යුතු වන්නේ ඉතා සුළු බදු මුදලක් වන අතර 5% ක පමණ වන එම අගයද එක් කළ පසු අවියක විකුණුම් වටිනාකම ලෙස දැක්වෙන්නේ රු. 91,367.85ක වැනි මුදලකි. ඒ අනුව අවියකින් ලබා ගත් ලාභය රු.7,79,508.10කි. (රු.8,70,875.95 - රු.91,367.85 = රු 7,79,508.10) 
 
මෙම අවි 08න් දෙකක් පෙර භාවිතා කර ඇති අතර ඒවායේ මිල අඩු කර තිබේ. නමුත් ශිරන්ත පීරිස් මහතා කිසිදු සැකයකින් තොරව එම සියලුම ගනුදෙනු හරහා තම ලාභය උපරිම කර ගෙන තිබේ. ඒ අනුව අළුත්ම අවි 06 යේ ලාභය රු.46,77,048.60කි. (රු.7,79,508.10 *06) භාවිතා කරන ලද අවි දෙකෙන් අවම වශයෙන් රු. 5,00,000.00 බැගින් රු. 10,00,000.00ක් ලබා ගෙන ඇති බව ඩුෂාන් විජේවික්‍රම මහතා පෙන්වා දෙයි.
 
මේ අතර ශිරන්ත පීරිස්  මහතා ගණුදෙනු කර ඇති ආකාරයට අනුව එම ඉන්වොයිසියේ සඳහන් දුරකථන අංක ඔස්සේ අඩුම තරමේ  සැපයුම්කරු සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් හෝ තිබී නැත. එම සැපයුම්කරු අවි නිෂ්පාදකයෙක්ද නැත්නම් බෙදාහරින්නෙක්ද යන්න හෝ කරුණු දැක්වීමට ශිරන්ත පීරිස් වගකීම් සහගත පුද්ගලයෙක් ලෙස කටයුතු කර නැත.  
 
නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් එම මිලදී ගැනීම කළේ නම් බෙරෙට්ටා අවි නිෂ්පාදන කරන සමාගමෙන්  එම ගණුදෙනුව කළ යුතුව තිබූ බවයි ඩුෂාන් විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ. කෙසේ නමුත් සංගමයට මුවා වෙමින් ශිරන්ත පීරිස් කළ මූල්‍ය වංචා අනාවරණය කිරීම අවසානයේ පාරාවළල්ලක් වුයේද ඩුෂාන් විජේවික්‍රම මහතාටමය. අවසානයේ ඔහුට සිදු වුයේ සිය  අන්තර් ජාතික විනිසුරුවරයෙක් හා තරඟ තීරකවරයෙක්  ලෙස ලබා ගෙන තිබූ බලපත්‍ර අත්හිටුවීමය.
 
මෙම මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ඩුෂාන් විජේවික්‍රම මහතා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කිරීමට ක්‍රියා කර තිබුණේ ජාතික වෙඩි තැබීමේ සංගමය ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයටද බැඳී සිටින හෙයිනි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් එන්.ජී.පණ්ඩිතරත්න මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව ලිඛිතව දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසය. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 26 වැනිදා පරීක්ෂණ ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික වෙඩි තැබීමේ සංගමයේ වත්මන් සභාපති දන්වා තිබුණේ මෙම වංචාවන් සම්බන්ධයෙන් ඒ වන විටත් අධිකරණයේ නඩුවක් විභාග වන බවයි. එය විමර්ශන නොමඟ යැවීමට ගත්  උත්සාහයක් ලෙස ඩුෂාන් විජේවික්‍රම මහතා පෙන්වා දෙන අතර ඔහු අවධාරණය කර ඇත්තේ සංගමයේ වංචා විමර්ශන ඒකකයෙන් එලෙස නඩුවක් ගොණු කර නොමැති බවත් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවත්ය. එය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව තහවුරු කර තිබේ. 
 
ජාතික වෙඩි තැබීමේ සංගමයේ ප්‍රධානම උපකරණ ද්විත්වය වන අවි හා පතරොම් සමඟ සෙල්ලම් කිරීමට ගිය ශිරන්ත පීරිස් පිළිබඳ පියවර ගැනීමට  ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වීම මන්දගාමී වීම සියල්ලට වඩා ගැටළු සහගතය. එම කාරණාද ඉදිරියේදී අපි ඔබට අනාවරණ කරන්නෙමු. මුදල් වංචාව මෙන්ම ජාතික ආරක්ෂාවද අභියෝගයට ලක් කිරීමට ශිරන්ත පීරිස් නැමති ව්‍යාපාරිකයා කටයුතු කරන තෙක් සංගමයේ තිබූ නිද්‍රාශීලි බවත් එක් පැත්තකින් ගැටලුවකි. එහෙත් දැන් සියල්ල අනාවරණ වී හමාරය. මේ සම්බන්ධ විමර්ශන මේ වන විට නිවැරදි මාර්ගයට යොමුව ඇති හෙයින් ජාතික වෙඩි තැබීමේ සංගමය අනාගතයේදී හෝ නිවැරදි මාර්ගයට පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එය ක්‍රීඩාවක් ලෙස ලබන ජයග්‍රහණයක් වනු ඇත. 
 
ආශිකා බ්‍රාහ්මණ 
 
 
wedi thabim 006
wedi thabim 007
wedi thabim 008
wedi thabim 009
wedi thabim 010
wedi thabim 011
wedi thabim 012
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment