රාත්‍රී නවය හමාරට, ඒ කියන්නෙ පැය තුනකට පසුව, රාත්‍රී භෝජනයෙන් හොඳම හරිය අවසන් වෙලා තියෙද්දි, අවසානයේ බැනන් ආවා. අපිළිවෙළ කබායක්, ඔහුටම අනන්‍ය විදිහට කමිස දෙකක් හැඳගෙන, ආයාසකර හමුදා විලාසයකින් රැවුලත් නොකපා හිටිය, තරබාරු හැට තුන් හැවිරිදි ස්ටීව් බැනන් කෑම මේසයේ හිටිය අනෙක් අමුත්තන් අතරට එක් වෙලා වැඩි වේලා නොගිහින්ම සංවාදයේ පෙරමුණ ගත්තා. තමන් වෙත පිරිනැමුණු වයින් වීදුරුවක් ‘‘මම බොන්නෙ නෑ‘‘ යැයි කියමින් පැත්තකට තල්ලු කළා. තමන් අණසක පතුරුවන්නට අපේක්ෂා කරන ලෝකය පිළිබඳ ඉතා උවමනාවෙන් සහ හදිසියකින් මෙන් සජීවී විස්තර කථනයක් කරන්නට පටන් ගත්තා. ‘‘අපේ හැම කැබිනට් සාමාජිකයෙක්ම ඉදිරි දවස්වල බොහොම කාර්ය බහුලයි“ ඔහු කීවේ 50 දශකයේ ඇසුණු ව්‍යාපාරික සහ මිලිටරි සේයාවන්ගේ සංකලනයකින්. ‘‘ටිලර්සන් දවස් දෙකයි. සෙෂන් දවස් දෙකයි. මැටිස් දවස් දෙකයි...“
බැනන් ‘මෑඩ් ඩෝග්’ මැටිස් වෙත නැඹුරු වුණා. ඔහු තමයි, ආරක්ෂක ලේකම්වරයා විදිහට ට්‍රම්ප් විසින් යෝජනා කළ විශ්‍රාමලත් තරු හතරේ ජනරාල්වරයා. ඔහු හමුදා ජනරාල්වරුන්ගේ මවිතය දනවන ලිබරල්වාදීකමේ සහ සිවිල්-හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ මුග්ධකමේ එකතුවක්. ඉන්පසුව ට්‍රම්ප්ගේ තවත් ප්‍රියතම ජනරාල්වරයෙක් වූ, ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැළිවල ආම්භක කතාව කරන මයිකල් ෆ්ලින් ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් පත් කිරීම. “මිනිහ හොඳයි. මැටිස් වගේ නෙවෙයි. ඒ වගේම ජෝන් කෙලී වගෙත් නෙවෙයි. ඒ වුණාට හොඳයි. නිවැරදි කාර්ය මණ්ඩලය ලබාදුන්නාම සේරම හරි..” බැනන් තවදුරටත් මෙහෙම කිව්වා. “අපිව ප්‍රශ්නවලට පටලවන, කවදාවත් ට්‍රම්ප් ට කැමති වෙන්නෙ නැති නව කොන්සවේටිව් හාදයො ගැන කල්පනා කරද්දි...”
උකුසු ඇසක් ඇති අයෙක් විදිහට ප්‍රසිද්ධ ජෝන් බෝල්ටන් රාජ්‍ය තාන්ත්‍රිකයාව, ජාතික ආරක්ෂක උපදේශකවරයා වශයෙන් ගෙන එන්නට තමන් උත්සාහ කළ බවත් බැනන් කිව්වා. බෝල්ටන් කියන්නෙ ඇලීස්ගෙත් සිත්ගත් කෙනෙක්. “බෝල්ටන් කියන්නෙ බෝම්බ විසිකරන හාදයෙක්.. ඒ වගේම අමුතු එකෙක්.. නමුත් ඔහුව නැතිව බැහැ. ඊශ්‍රායලය ගැන බලාගන්න ඊට වඩා කාටද පුළුවන්? ෆ්ලින් කියන්නෙ ඉරානය ගැන පොඩි පිස්සුවකින් ඉන්න කෙනෙක්. ටිලර්සන්-ඒ කියන්නෙ රජය විසින් පත්කළ ලේකම් දන්නෙ තෙල් ගැන විතරයි.”
“බෝල්ටන්ගෙ රැවුල තමයි ප්‍රශ්නෙ..” බැනන් හඬ පිටවෙන්න නාසයෙන් හුස්ම පිට කළා. “ට්‍රම්ප් හිතන්නෙ නෑ එයා කණ්ඩායමේ කොටසක් කියලා. ඔබ දන්නවනෙ, බෝල්ටන් ට තියෙන්නෙ පරිචයෙන් ලබාගත් රුචිකත්වයක්.. කටකතාවලින් කියන විදිහට නම් මිනිහ දවසක් දා හෝටලයක ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ වෙලා තියෙනවා. ගෑනු කෙනෙක් පිටිපස්සෙ පන්නං ගියා කියලත් ආරංචියි. මම ඔන්න ඔය කතාව කිව්ව නම් ට්‍රම්ප් මිනිහට රස්සාවට එන්න කියනවා...”
* * *
බැනන් අපූර්ව විදිහකට ට්‍රම්ප් ව වැළඳගනිමින් සිටියා. ඒ අතරවාරයේම ඔහු යෝජනා කරමින් සිටියා තමන් ට්‍රම්ප් ව බරපතළ විදිහට ගණන් ගන්නේ නැති බවත්. 2010 අවුරුද්දෙදි ට්‍රම්ප් ටවර් එකේ තිබුණු රැස්වීමකදි තමයි බැනන් ට්‍රම්ප් ව මුලින්ම මුණ ගැහුණෙ. එතැන් පටන් විටින් විට.... එහිදී බැනන් විසින් ට්‍රම්ප් ට යෝජනා කර තිබුණා ට්‍රම්ප්ගෙ ජනාධිපති සිහිනය සැබෑ කරගන්න උදව්වක් විදිහට ටී පාටි අපේක්ෂකයන් වෙනුවෙන් ඩොලර් මිලියන බාගයක් වියදම් කරන්න කියලා. බැනන් එදා රැස්වීමෙන් පිට වෙලා ගියෙ මේ වගේ දේවල් ට්‍රම්ප්ට කවදාවත් තේරුම් ගන්න බෑ කියන අදහසින්. ට්‍රම්ප් කියන්නෙ කිසිම දෙයක බරපතළභාවය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එදා ඒ පළමු මුණ ගැසීමයි, 2016 අගෝස්තු මැද අතර කාලයයි වන විට, ඒ කියන්නෙ බැනන් විසින් ට්‍රම්ප්ගෙ ජනාධිපතිවරණ කැම්පේන් එක භාරගන්න කාලය වන විට තමන්ගේ බ්‍රීට්බාට් රේඩියෝ වැඩසටහනෙන් කෙරුව වැඩසටහන් කිහිපය හැරුණාම එක දෙයක් ගැන හරියටම කියන්න පුළුවන්. ඒ තමයි, බැනන්, ට්‍රම්ප් එක්ක එක දිගට විනාඩි 10කට වඩා කතා කරල නැහැ කියන කාරණය.
නමුත් මේ වෙද්දි බැනන්ගෙ තීරණාත්මක මොහොත උදා වෙලා තිබුණා. හැමතැනම-ගෝලීය වශයෙන් හදිසියේම වගේ තමන්වම සැක කරන ස්වභාවයක් උදා වෙලා. එක්සත් රාජධානියෙ බ්‍රෙක්සිට්, යුරෝපයේ කෝපාවිෂ්ට වෙරළ තීරයන්ට ඇදී එන සංක්‍රමණික රැල්ල, ආර්ථිකයේ පදනම් දියවෙමින් යන බවට ලකුණු, බර්නි සැන්ඩර්ස් සහ ඔහුගෙ ලිබරල්වාදී එකට එක කිරීම් - හැමදෙයක්ම ආපස්සට ගැස්සෙමින් යන බව පෙනෙන්නට තිබුණා. ගෝලීයකරණය වැඩිපුරම පිළිගන්න එහි නිපුණයන් පවා පසුබාමින් හිටියා. බැනන් විශ්වාස කළේ ජනතාව ඇදහිය නොහැකි තරම් සංඛ්‍යාවක් එකවරම අලුත් සුබ පණිවුඩයක් අල්ලා ගනිමින් සිටිනවා කියලයි. ඒ තමයි, ලෝකයට මායිම් අවශ්‍ය බව, එහෙමත් නැතිනම් ලෝකය එහි මායිම් තිබූ යුගය වෙත ආපසු යා යුතු බව. ඒ කියන්නෙ ඇමරිකාව ශ්‍රේෂ්ඨ වෙලා තිබුණු යුගය වෙත නැවතත්. ට්‍රම්ප්, මේ පණිවුඩය සඳහා වෙන්වුණු වේදිකාව බවට පත්වෙලා තිබුණා.
ඒ ජනවාරි සන්ධ්‍යාව වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ලෝකයේ බැනන් මාස 5 ක් විතරම ගිලී නැහැවෙමින් හිටියා. ට්‍රම්ප්ගෙ අසාමාන්‍ය, අරුම පුදුම හැසිරීම් ගැන සැලකිය යුතු ප්‍රමාණයේ සුචියක් ඔහු විසින් අත්පත් කරගෙන තිබුණා.තමන්ගෙ ‘බොස්’ වන ට්‍රම්ප්ගෙ සහ ඔහුගෙ අදහස්වල ඇති අනාවැකි කිව නොහැකි ස්වභාවය තුළ තිබෙන අවදානම්කාරී ස්වභාවය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව තේරුම් ගන්නට එය ඔහුට ප්‍රමාණවත්. නමුත් දක්ෂිණාංශය, ටී පාටි, ඉන්ටනෙට් මෙමේ බේස් සහ දැන් ජයග්‍රහණය සම්බන්ධයෙන් ට්‍රම්ප් දක්වන ජනකාන්ත ආයාචනයෙන් වගේම තමන්ට ට්‍රම්ප් විසින් ලබාදුන් අවස්ථාවෙන් පීලි පනින්නටත් බැනන් ට උවමනා වුණේ නැහැ.
* * *
“මිනිහට ඒක තේරුණාද.?” ඇලීස් හදිසියේම ඇහුවෙ හිතාමතාම බැනන් දෙස බලමින්. ඔහු එයින් අදහස් කළේ ට්‍රම්ප් ව. මේ ප්‍රශ්නය දක්ෂිණාංශික න්‍යායපත්‍රය පිළිබඳ ගැටළුවක් බව පෙනුණා. ඒ කියන්නෙ “ප්ලේබෝයි කෝටිපතියාට ඇත්තටම වැඩකරන පන්තියේ ජනප්‍රියවාදී කථිකාව වැටහුණාද? කියන ගැටළුව. නමුත් ඒක සමහරවිට සැර වැඩි ප්‍රශ්නයක් වෙන්න ඇති. ඇත්තටම ඉතිහාසය විසින් ට්‍රම්ප්ව ස්ථානගත කළ තැන ගැන ඔහුට වැටහුණාද?
බැනන් වතුර වීදුරුවක් බිව්වා. “ඔහුට ඒක තේරරෙනවා..” බැනන් කිව්වෙ පමණටත් වඩා වැඩි වේලාවක් පසුබාමින් බව පෙනුණා. “එහෙම නැතිනම් ඔහුට තමන්ට ඕනෙ දේ තේරෙනව ඇති...”
දෙපැත්ත හොරැහින් බලන ගමන් ඇලීස් දිගින් දිගටම බැනන් දිහා බලානෙ හිටියා. හරියට බැනන් වෙනුවෙන් බලාසිටීම ඔහු විසින් කළ යුතුව තිබූ දෙයක් වගේ.
“ඇත්තටම..” බැනන් කිව්වා. “එයාට වැඩේ තේරෙනවා. එයා ඉන්නෙ එයාගෙ වැඩේ...” ඉන්පස්සෙ ට්‍රම්ප් ගැන මාතෘකාව හිතාමතාම වෙන පැත්තකට හැරෙව්වේ ට්‍රම්ගෙ ඇජෙන්ඩා එක ඉදිරියට ගනිමින්. “පළවෙනි දවසෙ අපි හැමෝම ජෙරුසලමෙ ඇමරිකානු තානාපති කාර්යාලයට යනවා. නෙතන්නියාහු, ෂෙල්ඩන් ඔක්කොම ඉන්න දවසක..” ෂෙල්ඩන් ඇඩෙල්සන් කියන්නෙ ඊශ්‍රායලය වෙනුවෙන් කතා කරන අන්ත දක්ෂිණාංශික කැසිනෝ ප්‍රකෝටිපතියෙක්. ඒ වගේම ට්‍රම්ප්ගෙ උදව්කාරයෙක්. “ඒ හැමෝම ඉන්න වෙලාවක. අපි හැම කෙනෙක්ම දන්නවා අපි මේ කරන්නෙ මොකක්ද කියලා.”
“ඩොනල්ඩ් ඒක දන්නවද?” ඇලීස් සැකමුසු සිතින් ඇහුවා.
බැනන් යන්තමින් හිනා වුණා. හරියට ඇස් ගහනව ඇස් දෙකත් පුංචි කරමින්. ඊට පස්සෙ මෙහෙම කිව්වා.
“ජෝර්දාන්වලට බටහිර ඉවුර යටත් කරගන්න ඉඩ දෙන්න. ඊජිප්තුවට ගාසා තීරය යටත් කරගන්න දෙන්න. ඊට පස්සෙ බලමු. සෞදිය ඉන්නෙ ගැට්ටෙ. ඊජිප්තුවත් එහෙමයි. හැම කෙනෙක්ම පර්සියාව... යේමනය, සිනායි, ලිබියාව.... මරණයට පත්වේවි කියල බයෙන් ඉන්නවා. මේව නරක දේවල්.... ඒක නිසා තමයි රුසියාව මේ තරම් ලොක්කෙක් වෙන්නෙ.. රුසියාව ඒ තරම් නරකද? රුසියාව හොඳ මිනිහෙක් නෙවෙයි. නමුත් ලෝකෙ පිරෙන්න ඊටත් වඩා නරක එවුන් ඉන්නවා...”
බැනන් මේ සියල්ලම කිව්වෙ, ලෝකය නැවත තනන මිනිසෙකු වගේ විශාල උනන්දුවකින්.
“නමුත් නපුරු අය නපුරු බව දැනගෙන සිටීම හොඳයි..” ඇලීස් කිව්වේ බැනන් ව තවදුරටත් කතාවට උනන්දු කරවමින්. “ඩොනල්ඩ් ඒක දන්නව ඇතිනෙ..”
බැනන් හරියටම පොයින්ට් එකට කතා කළා. ඔහු කිව්වා, ට්‍රම්ප්ව පමණට වඩා ආරක්ෂා නොකරන, ඒ වගේම හෙළා නොදකින චීනය තමයි, සැබෑ සතුරා කියලා. නව ශීතල යුද්ධයක පළමු පෙරමුණ චීනය වුණා. ඒක සම්පූර්ණයෙන්ම ඔබාමා යුගයේදී වැරදියට වටහාගත් දෙයක්. අපි හිතුවා අපිට තේරුණා කියලා. නමුත් අපට තේරුණා කියල අපි තේරුම් අරගත් දෙය අපිට තේරිලා තිබුණෙ නෑ. ඒක ඇමරිකානු බුද්ධි අංශයෙ අසාර්ථකභාවය. “මං හිතන විදිහට කොමී කියන්නෙ තුන්වැනි පන්තියෙ හාදයෙක්. බ්‍රෙනාන් කියන්න දෙවැනි පන්තියෙ කෙනෙක්.” එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා ව සහ සීඅයිඒ අධ්‍යක්ෂවරයා ව හෙළා දකිමින් බැනන් කිව්වා.
“මේ වෙද්දි ධවල මන්දිරය හරියට 1968 ජොන්සන්ගෙ ධවල මන්දිරය වගේ. සූසන් රයිස් (ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශකවරිය) අයිසිස් සංවිධානයට එරෙහිව ජාතික ආරක්ෂක උපදේශකවරිය වශයෙන් කැම්පේන් එකක් කරමින් හිටියා. ඔවුන් ඉලක්ක තෝරාගන්නා විට ඇය දේරා්නවලින් පහරදීම තෝරාගත්තා. මම කියන්නෙ, ජොන්සන් හැට අටේදි කළා වගේ ඔවුන් බොහොම කාර්යක්ෂම විදිහට යුද්ධය ගෙන යමින් සිටිනවා. පෙන්ටගනය, සිද්ධවෙමින් පවතින දෙයින් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා හිටියා. බුද්ධි අංශත් එහෙමයි. මාධ්‍ය විසින් ඔබාමා ව අපහසුතාවට පත් කළේ හෝ අමාරුවේ දැමුවේ නැහැ. පරමාදර්ශය ඉවත් කර බැලුවොත්, මේක සම්පූර්ණයෙන්ම ආධුනික හෝරාවක්. මම දන්නෙ නැහැ, ඔබාමා මොනවද කරන්නෙ කියලා. කැපිටල් හිල්වල ඉන්න කිසිම කෙනෙක් ඔහු ගැන දන්නෙ නෑ. බිස්නස්කාරයො එයා ගැන දන්නෙ නෑ. ඔහු ලබාගත් දේවල් දන්නෙ නැහැ. ඔහු මොනවද මේ කරන්නෙ..?” ඇලීස් එහෙම කිව්වෙ බැනන් තමන්ගෙ සහායට පැමිණේවි කියන බලාපොරොත්තුවෙන්.
“එයා සම්පූර්ණයෙන්ම තමන්ගෙ වැඩේ ඇතුළෙ ඉන්නවා..”
“අරමුණු සහගත විදිහට?”
“ඔහු ඒක සල්ලි දීල ගන්නවා”
“මම ට්‍රම්ප්ට පමණට වඩා හිතන්න දෙන්නෙ නෑ..” ඇලීස් සෙල්ලමට වගේ කිව්වා. බැනන් නාසයෙන් නැවත හඬ පිටකළා. “ඕනවට වඩා හිතුවත්, ඕනවට වඩා නොහිතුවත්, ඒකෙන් දේවල් වෙනස් වෙන්නෙ නෑ..”
* * *
“එයා මොකටද රුසියානුවො එක්ක පටලැවුණෙ?” ඇලීස් බර කරමින් ඇහුවා.
“ප්‍රධාන වශයෙන්ම ට්‍රම්ප් රුසියාවට ගියෙ ඔහු හිතුව පුටින්ව මුණ ගැහෙන්න පුළුවන් වේවි කියලා. නමුත් පුටින් ඒක කළේ නැහැ. ඔහු දිගටම උත්සාහ කළා.”
“ඒ තමයි, ඩොනල්ඩ්..” ඇලීස් කිව්වා.
“ඒක විශිෂ්ට දෙයක්..” ට්‍රම්ප් කියන්නෙ හරියට වචනයෙන් විස්තර කරන්න බැරි ලෝක පුදුමයක් වගේ කියල හිතන බැනන් කිව්වා.
නැවතත්, ට්‍රම්ප් නමැති ගැටළුව පැත්තකින් තබා තිබුණත්, විශාල සහ අසාමාන්‍ය වශයෙන් ට්‍රම්ප් ව මතුකර ගැනීම බැනන් විසින් කරමින් සිටියා. ඒක තමයි, ඔහු තමන්ටම අවධාරණය කරගනිමින් හිටිය භූමිකාව. ට්‍රම්ප්ගෙ ජනාධිපතිකම වෙනුවෙන් වාතාවරණය සකස් කිරීම.
“චීනය කියන්නෙ හැම දෙයක්ම. වෙන කිසිම දෙයක් නෙවෙයි ගැටළුව චීනය. අපිට චීනය නිවැරදිව තේරුම් ගන්න බැරිවුණා. අපිට කිසිදෙයක් හරියට තේරුම්ගන්න බැරි වුණා. මේ හැම දෙයක්ම හරිම සරලයි. චීනය අද ඉන්නෙ නාසි ජර්මනිය 1929 සහ 1930 අවුරුදුවල හිටිය තැන. චීන්නු ජර්මානුවො වගේම ලෝකයේ ඉන්න වඩාත්ම තාර්කික ජනතාව. එහෙම නොවෙන තාක් කල්... ඔවුන් හදන්නෙ ජර්මනිය තිස් ගණන්වලදි කළා වගේ හෙමින් උඩට විසි වෙන්න. අපිට ලැබෙන්න යන්නෙ අධිජාතිකත්වවාදී රාජ්‍යයක්. ඒක සිද්ධ වුණාට පස්සෙ භූතයව අල්ලලා බෝතලේ දාන්න ඔබට බෑ..”
“ඩොනල්ඩ් ට චීනයේ නික්සන් වෙන්න බැහැ..” ඇලීස් හැඟීම් විරහිත මුහුණකින් කිව්වෙ, ට්‍රම්ප් ඉක්මනින්ම ගෝලීය පරිණාමනයේ පිට කබොල ග්‍රහණය කර ගත යුතුයි කියන හැඟීමෙන්.
බැනන් මද සිනා පෑවා. අමතක නොවෙන සහ තමන්ටම විරෝධය පාන ස්වභාවයකින් මෙහෙම කිව්වා. “බැනන් කියන්නෙ, චීනය.”
“කොහොමද හාදයා..?” ඇලීස් ඇහුවෙ ට්‍රම්ප්ගෙ බෑණා සහ ප්‍රධාන පෙළේ දේශපාලන උපදේශකයෙකු වන තිස් හය හැවිරිදි ජරෙඩ් කුෂ්නර් ගැනයි.
“එයා මගෙ හවුල්කාරයා..” බැනන් එහෙම කිව්වත් ඔහුගෙ දිගු දිව යෝජනා කළේ වෙනත් දෙයක්. ඔහු තමන්ට හැඟෙන පණිවුඩය ලබාදෙන්න සූදානමින් හිටියෙ නෑ.
“ඇත්තට?’ ඇලීස් සැකමුසු හඬෙන් ඇහුවා.
“එයා කණ්ඩායමේ ඉන්නවා.”
“එයා රූපට් (රූපට් මර්ඩොක්) එක්ක සෑහෙන්න ලන්ච් ගත්තා..”
“අනිවාර්යයෙන්ම.” බැනන් කිව්වා. “මට පුළුවන් මෙතැනදි ඔබට උදව් කරන්න.” බැනන් ඊට පස්සෙ විනාඩි ගණනාවක්ම ගත කළේ මර්ඩොක්ට විරුද්ධව ඇලීස්ට කරුණු කියන්න. ෆොක්ස් නිව්ස් සමාගමෙන් ඉවත් වීමෙන් පසුව ඇලීස් දැඩි විදිහට මර්ඩොක් විරෝධියෙක් බවට පත්වුණා. මේ වෙද්දි මර්ඩොක් නිතර නිතරම ට්‍රම්ප් සමග ගැවසෙන්න මං හොයනවා. මධ්‍යස්ථභාවයක් සඳහා මැදිහත්කරුවෙක් වෙන්න හදනවා. මෙය ඇමරිකානු කන්සවේටිව්වාදයට එහෙම්පිටින්ම ආගන්තුක අත්දැකීමක්. මර්ඩොක් පැරදෙමින් සිටින කෙනෙක් කියන පණිවුඩය, අමතක වේවි කියන බය සහ මහලු වීමේ භය ඇතුළු නියුරෝසියාවන් ගණනාවකින් පෙළුණු ට්‍රම්ප්ට ඇලීස් හරහා ලබාදෙන්න බැනන්ට උවමනා වුණා.
“මම ඔහුට කතා කරන්නම්. ” ඇලීස් කිව්වා. “නමුත් ට්‍රම්ප් රූපට් වෙනුවෙන් කඩුළු පනිමින් වුණත් දුවන්න පටන් ගනීවි. හරියට පුටින් වගේ. වාසියට බැගෑපත් වෙනවා. මොකුත් නැතිව ගිමන් හරිනවා. මේ දම්වැල කඩන්නෙ කවුද කියන එක ගැන මගෙ සැලකිල්ලක් නෑ.”
බාල සහ මහලු දක්ෂිණාංශික මාධ්‍ය මායාකාරයො දෙන්නා රාත්‍රී දොළහමාර වනතෙක්ම අනෙක් අමුත්තන්ගේ තෘප්තිය උදෙසා විවිධ කතා කියමින් හිටියා. මහල්ලා උත්සාහ කළේ ට්‍රම්ප් නමැති ජාතියේ අලුත්ම ප්‍රහේලිකාව විනිවිද දකින්න. නමුත් ඇලීස් කියන්නෙ ට්‍රම්ප්ගෙ හැසිරීම හැමවිටම කලින් කියන්න පුළුවන් එකක් බවයි. දෛවයේ තමන්ට හිමි මොහොත නැති කර නොගන්න පොඩි මාධ්‍ය ඔස්තාද් අදිටන් කරගෙන හිටිය බව පෙනුණා.
“ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒක තේරෙනවා. ඔහු තමයි ට්‍රම්ප්. නමුත් ඔහුට එය තේරෙනවා. ට්‍රම්ප් කියන්නෙ ට්‍රම්ප්.” බැනන් සහතික වුණා.
“ඔව්, ඒ තමයි ට්‍රම්ප්.” ඇලීස් කිසියම් විශ්වාස නොකරන ස්වභාවයකින් පිළිතුරු දුන්නා.
- අනුවාදය: රදිකා ගුණරත්න
මීළඟ ලිපියෙන් : “මට මේ ලෝකයේ ජනප්‍රියම මිනිසා බවට පත්වෙන්න පුළුවන්!.
ට්‍රම්ප්ගේ ධවල මන්දිරය හෙවත් ‘ගින්දර සහ වියරුව‘- Fire and Fury by Michael Wolff - පළමු කොටස
0 comments :
Post a Comment