දූෂණ වංචා වැඩ ගැන සොයා කඩිනම්ව වැඩ කරන කමිටුවක්.


දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීමට දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් පත් කරන ලදී.

නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධූරය දරනු ඇත.

මේ තීරණයට එළැඹියේ අද (26 වන දා) උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී ය.

දූෂණ හා වංචා මැඬලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ලබා දී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අපරාධ යුක්තිය පිළිබඳව විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් හා තලතා අතුකෝරළ හා සාගල රත්නායක යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.

පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ අභියාචනා පිළිබඳව කටයුතු කඩිනම් කිරීම පිණිස තිලක් මාරපන, රංජිත් මද්දුමබණ්ඩාර හා සාගල රත්නායක යන අමාත්‍යවරුන්ගෙන් යුතු කමිටුවක් ද පත් කෙරිණි.

මෙහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය වැටලීම් හා සංවිධිත අපරාධ මැඩලීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින්, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය.

විශේෂයෙන්ම කාන්තා හිංසනය ගැන නීතිය ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙන ලදී. පොලීසිය විසින් පවරන නඩුවලට අවාසිදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත ජයසුන්දර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment