පිරිත් සජ්ඣායනා කිරීම, ගාථා කට පාඩම් කිරීම නිවනට බාධාවක් වන්නේ ඇයි?

පිරිත් සජ්ඣායනා කිරීම, ගාථා කට පාඩම් කිරීම නිවනට බාධාවක් වන්නේ ඇයි?

පිරිත් දෙසන්නෝ ගාථා කට පාඩම් කළ යුතුය. පිරිත සජ්ඣායනා කිරීම අද සමාජයේ බොහෝ කලක සිට පැල පදියම් වූ වෘතයකි. නමුත් එහිදී සිදුවන දෙය තමා තුළින් නිවන් සාක්ෂාත් කිරීමට අවහිරයක් බව බොහෝ දෙනා නොදනිති. සෑම බෞද්ධයෙකුගේම පරමාර්ථය නිවන් දැකීමයි. එම පරමාර්ථය සපුරා  ගැනීමට නම් නිවන් දැකීමට අවහිර වන සෑම බාධකයක්ම ඉවත් කළ යුතුය.

පිරිත් සජ්ඣායනා කිරීම නිවනට බාධාවක් වන්නේ ඇයි දැයි දැන් අපි සොයා බලමු.

නිවන් දැකීම බලෙන් කළ හැකි දෙයක් නොවේ. ප්‍රඥා ඇස මතුවීමට සුදුසු වාතාවරණය සැලස් වූ විට එය ඉබේ සිදුවන්නකි. අවුරුදු 2100කට පසු නිවන් මඟ සහ නිවන් දැකීම ලංකාවේ දැන් විවෘත වී ඇත. ඒ නිසා මෙතෙක් කල් කළ දේවල්, පිළිපැදීම් වැරදි යැයි ද සනාථ වී ඇත. නිවන ප්‍රඥා ඇසින් දකින දෙයකි. එනිසා නිවන් දැකීමට ප්‍රඥා ඇස මතු විය යුතුය. වෙන ක්‍රමයක් නැත. මනසේ සිදුවන ක්‍රියාවලියෙන් සෑමවිටම සිතුවිල්ලක් මතු වී ප්‍රඥා ඇස අවහිර වේ. අවාසනාවකට මෙන් ප්‍රඥා ඇස සිතුවිල්ලක් සමඟ එකවිට ක්‍රියාකාරී නොවේ. ප්‍රඥා ඇස මතු වන්නේ සිතුවිල්ල නැවතුණු විටය. ඒ නිසා නිවනට මඟ "චේතෝ විමුක්ති" ය.

"අකුප්පා මෙ චෙතො විමුක්ති" - "චින්තනයෙන් මිදීම නොසෙල්වන සේ ස්ථිරව පිහිටියේය" යනුවෙන් දම්සක් පැවතුම් සූත්‍රයේ බුදුන් වහන්සේ ප්‍රකාශ කර තිබියදීත් අපට අවුරුදු 2100ක්ම උපදෙස් ලැබුණේ සිතුවිල්ල තර කිරීමටය. සිතුවිල්ල ඇති වන අඩිතාලම වන මනස දියුණු කිරීමටය. ඒ නිසා එම කාලය තුළ කිසිවකු නිවන් දැක නැත.

ගාථා කටපාඩම් කිරීම, කඩපාඩම් වූ ගාථා සජ්ඣායනා කිරීම සිතුවිල්ල තුළ මනසේ ක්‍රියාකාරීත්වයෙන් සිදු  වන්නකි. මනසේ ක්‍රියාකාරීත්වය මතු කරන සෑම අවස්ථාවකම ප්‍රඥා ඇස වැසේ. ගාථා කටපාඩම් පාඩම් කිරීමට ඉන්ද්‍රියවලින් අරමුණු ගෙන ඒවා මතකයේ රඳවා ගත යුතුය. කිසිම තේරුමක් නොදැන ගාථා මතකයේ රූප වශයෙන් තැන්පත් කිරීමෙන් සිදු වන්නේ මනස පෝෂණය වන චින්තන ඇති කිරීම පමණි. මනස පෝෂණය වෙත්ම විඥානය තර වී ප්‍රඥා ඇස මතු වීමට බාධාවක් වේ. ඒ නිසා පිරිත් සජ්ඣායනා කරන්නන්ගේද, ඒවා අසන්නන්ගේද මනස ක්‍රියාත්මක සේම ප්‍රඥා ඇස මතු වීමට වාතාවරණයක් සැලසෙන්නේ නැත.

තවද තේරුම නොදැන අන් භාෂාවකින් ලියා ඇති දෙයක් කිසිදෙයක් නොතේරී කටපාඩම් කර නැවත කීමෙන් කිසි වැඩක් තමන්ටද අනුන්ටද සිදු වනවා යයි සිතීම අනුවණකමකි. හාමුදුරුවරුද එය යම්කිසි තාලයකට ගායානා කළොත් හොඳක් වේ යැයි ජනතාව රවටා ඇත. එසේම ගෙවල්, ගඩොල්, සිමෙන්තිවලට පිරිත් කීමෙන් ආරක්ෂාවක් ලැබේ යැයි සිතීම මෝඩකමකි.

තවද බුදුන් වහන්සේ කීවා යැයි, ආනන්ද හාමුදුරුවෝ කීවා යැයි කවුරු හෝ පොත්වල ලියූ දේවල් අර්ථ නොදැන කටපාඩම් කිරීම අනුවණය. නුවණැත්තෝ ඒවායේ තේරුම සොයා යති.

මීටත් වඩා වැදගත් වන්නේ පිරිත් කියන්නේ කාගේ ආරක්ෂාව සඳහාද  සෙවීමය. බුදුදහමේ  "මම" කියා කෙනෙකු  ඇත්ත වශයෙන්ම ප්‍රඥා ඇසට නොපෙනන බව දැනගත යුතුය. පංචේන්ද්‍රියන් ආශ්‍රයෙන් ආලෝකය ඇහැට වැටුණු විට පාටක් හැඩයක් ඇති වූ රූපයක් මනසේ නිර්මාණය වන්නේ මායාවක් වශයෙනි. එසේ නම් පිරිත් කියමින් ආරක්ෂා කරන්න යන්නේ මේ මායාවද?. එසේ නිර්මාණය වන මායාව ඇත්තටම තිබේ යන අදහසින් සිටින්නාට කිසිදා නිවන් දැකිය නොහැකිය. එවැනි සිතුවිලි මැද (හොඳ හෝ නරක) ප්‍රඥා ඇස මතු නොවේ.

ඇත්ත වශයෙන් ආරක්ෂා කිරීමට කෙනෙක් නැතිනම් දන්නා භාෂාවකින් වුවද, අර්ථ දැනගෙන වුවද පිරිත් සජ්ඣායනා කිරීමෙන් කිසි වැඩක් හෝ ආරක්ෂාවක් සිදු නොවේ. එසේ ආරක්ෂාවක් වේවි යන සිතීමද මනසේ ඇති වන මායාවකි. එසේ නම් නොදන්නා භාෂාවකින් අර්ථ නොදැන කරන සජ්ඣායනා ගැන කියනුම කවරේද?.

ආරක්ෂා කිරීමට කෙනෙක්, දෙයක් ඇත යන හැගීමෙන් පිරිත් කීමෙන් හෝ ඇසීමෙන් මේ නිසා නිවනට ප්‍රඥා ඇස මතු වීමට අවහිරයක් බව දැන් ඔබට පෙනී යනු ඇත. අවුරුදු 2100ක් පමණ එවැනි වෘත කිරීමෙන් කවුරුත් නිවන් දැක නැත යන්න පැහැදිලි විය යුතුය. ඇත්ත වශයෙන්ම එවැන්නක් කිරීම නිවනට බාධකයක් බවද පැහැදිලි විය යුතුය.

කිසි කරදරයක් නැතුව හොඳින් ජීවත් වන අන්රටවල අය කිසිම පිරිතක් කීමක්, ඇසීමක් නැතුව යහමින්, සතුටින් ජීවත්  වන බව අප කවුරුත් දනී. ඔවුන්ගේ ගෙවල්ද, ගඩොල්ද කිසි කරදරයක් නැතුව, කිසි ආරක්ෂාවක් නැතුව සොබා දහමේ පැවතේ.

මම යන අදහස දියුණු වන සියලුම ක්‍රියාවලින් නිවන වැසේ. පිරිත් සජ්ඣායනා කරන අයද, පිරිත් අසන අයද, පිරිතෙන් හොඳක් වේ යැයි සිතන ඇයද මනසේ ක්‍රියාකාරීත්වයක් තුළින් විඥානයෙන් අවදි වී එවැන්නක් සිදු වන නිසා නිවන අවහිරකොට ගනී.

සීලබ්බත (සීල වෘත) වලින් මිදී සෝවාන් වීමට පිරිත් කීම, පිරිත් ඇසීම වැනි වෘතවලින් මිදිය යුතුය.

කිසි කෙනෙකුටවත්, ගෙවල් වැනි කිසි භෞතික දෙයකටවත් කිසි ආරක්‍ෂාවක් ඇත්ත වශයෙන් නොලැබෙන, කියන වචනවල අර්ථ වත් නොතේරෙන පිරිත් වැනි දේවල් කීරීමෙන් හාමුදුරුවරු නොමග ඇරපු ජනතාව තමන් වෙහෙසවී උපයා ගත් මුදල් විනාශ කර ගන්නවා පමණක් නොව මේ ජීවිතයේදී දැකිය හැකි නිවනද අවහිර කර ගන්නෝය.

- ගාමිණී අභය

පසු සම්බන්ධයි.

පෙර ලිපි
බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.

බුද්ධ දර්ශනය 2- මාර්ගඵලලාභීන් බිහි නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?

බුද්ධ දර්ශනය 3- බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?

බුද්ධ දර්ශනය 4- බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?

බුද්ධ දර්ශනය 5- බුද්ධාගමේ පදනම වන දාන, සීල, භාවනාවලින් නිවන් දැකිය නොහැක.

බුද්ධ දර්ශනය 6- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?

බුද්ධ දර්ශනය 7- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 2 වන කොටස

බුද්ධ දර්ශනය 8- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 3 වන කොටස

බුද්ධ දර්ශනය 9- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 4 වන කොටස

බුද්ධ දර්ශනය 10- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 5 වන කොටස

බුද්ධ දර්ශනය 11 -  විපස්සනා භාවනා කොට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි?විපස්සනා භාවනා කොට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි?

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment