ආදරණීය ඌනා, මේ පොළොවේ ඔබ සුවෙන් සැතපෙන්න

ආදරණීය ඌනා, මේ පොළොවේ ඔබ සුවෙන් සැතපෙන්න

ඌනා මැකෝලි නොහොත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය වයස අවුරුදු 54 දී, පෙබරවාරි 23 වැනිදා මෙලොව හැර ගියේ ලංකාවේදී ය. ඇය මිහිදන් වන්නේ, මාර්තු 2 වැනිදා සවස 4ට බොරැල්ල සුසාන භූමියේ ය.

මාර්තු 2 වැනි සිකුරාදා ඇගේ දේහය මහජන ගෞරවය පිණිස කොළඹ 8, ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර, එහිදී ඇයට අවසන් ගෞරවය දැක්වීම පිණිස ඇදී එන බහුතර පිරිස, නිසැක වශයෙන්ම ඇයට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් වනු ඇත.

ඌනා මැකෝලි යනු ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ධුරයට පත් ප්‍රථම කාන්තාවයි. එසේම ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිටි ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය ද වූවාය. සිය දෙවසරක ධුර කාලය තුළ මෙරට, UNO දේශීය කණ්ඩායම හෙවත් ආයතන 21 කින් යුත් එක්සත් ජාතීන්ගේ නේවාසික සහ අනේවාසික ආයතන සියල්ලම සඳහා ඇය කදිම නායකත්වයක් ලබාදුන්නාය. වසර 6ක් ඈ ශ්‍රී ලංකාවේ සේවය කළාය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF) නියෝජිතවරිය ලෙස ද ක්‍රියා කළ ඌනා, පැනමා සහ ටෝගෝ රාජ්‍යයන්හි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF) නියෝජිතවරිය ලෙසත්, සුඩානයේ, කෙන්යාවේ සහ ඇන්ගෝලා රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF) කාර්ය මණ්ඩලයේ ඇතුළුව වසර 17ක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සේවය කළා ය. ඊට පෙර වසර හතක කාලයක් කුඩා ළමුන්ගේ සුභ සිද්ධිය උදෙසා සංවර්ධන ක්ෂේත්‍රයේ ක්‍රියා කළ ඇය ලොව රටවල් කීපයකම ගෝලීය කාරණා සම්බන්ධ ප්‍රතිපත්ති රාමු සැකසීමට මුලිකත්වය ගෙන ක්‍රියා කළා ය.

ඌනා මානව හිතවාදිනියකි. සරල සිනහව, නිරහංකාර බව මෙන්ම සියල්ලන් වෙතම මානව ගෞරවයෙන් යුතුව සැලකීම ඌනාගේ ජීවිතයේ නොමැකෙන ලක්ෂණ විය. ඇය කෙතරම් සුන්දර සහ අපූර්ව චරිතයක් ද යන්නට විශේෂයෙන්ම ලංකාවේ LGBT ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන්ගේ සමාජ ජාල මේ වන විට සාක්ෂි සපයමින් සිටියි.

නිලධාරිවාදය ලංකාවේ සංස්කෘතිය තුළ මුල්බැසගෙන තිබෙන්නේ ආඩම්බරකම, පන්ති ගෞරවය සහ සෙස්සන්ට බලය පෙන්වීම යන අවලස්සන ලක්ෂණ කේන්ද්‍රකරගෙන ය. එනිසාම කාලයත් සමග ඔවුහු සමස්ත සමාජයෙන් වියෝජනය වූ වෙනම පැළැන්තියක් ලෙස ක්‍රියාකිරීමට සහ පෙනී සිටීමට පටන් ගනිති. ඌනා මැකොලි වැනි, ජගත් සංවිධානයේ ලංකාව සම්බන්ධයෙන් ඉහළම නිලය දැරූ නිරහංකාර චරිත අපේ රටේ මුල් බැසගත් මෙවැනි පුහුදුන් ප්‍රවණතාවන්ට සියුම් ලෙස එල්ල කළ අභියෝගාත්මක ප්‍රහාරයක් වන්නේ එනිසා ය.

එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ පුරවැසිභාවය හිමි ඌනා, අප දමා යන විට අසනීප නිවාඩු මත ප්‍රතිකාර ලබමින් සිටියාය. ඇගේ සැමියා සහ දූදරුවන් ජීවත් වන්නේ ද එක්සත් රාජධානියේ ය. ඇයට ලෙහෙසියෙන්ම තමන් උපන් රට මිහිදන් වීමට ඉඩ තිබිණි. නමුත් ඒ සඳහා ඇය තෝරාගෙන තිබුණේ ලංකාවයි.

ඇය මෙන්ම, එක්සත් රාජධානියේ ඉපිද ලංකාවට පැමිණ, 97 වසරේ පටන් පුරා විසි වසරක් බොරැල්ල සුසානයේ තනිව සැතපෙන තවත් සුන්දර චරිතයක් වන ජීන් මුණසිංහට ඌනා විසින් දැන් තනි රකිනු ඇත. දයාබර ඌනා, ඔබේ ජීවිතය සහ ඔබේ උරුමය විසින් කියා දුන් මනුෂ්‍යත්වයේ පාඩම සහ ඔබ නැති අඩුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට මතු නොව අපට ද තදින් දැනේ.

- රදිකා ගුණරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment