බිරිඳගේ වාසගම ලබාගත් සැමියෙක්

බිරිඳගේ වාසගම ලබාගත් සැමියෙක්

බී.බී.සී වෙබ් අඩවියේ පළවූ 'I took my wife's name - and then the hassle began' යන ලිපිය මගින් භාර්යාවන්ගේ වාසගම පවරා ගත් ස්වාමිපුරුෂයෙකුගේ අත්දැකීම් ඉදිරිපත් කරයි. එමගින් පුද්ගල අයිතිවාසිකම්වලට ගරුකිරීමට සමාජය කොතරම් දුරට මැළිවන්නේද යන්න පාඨක ඔබට අවබෝධ කරගනු හැකිවනු ඇත.

අප මිනිසුන් වශයෙන් උපත ලැබුවද උපතත් සමග සමාජයෙන් යම් යම් දේවල් හිමිවේ. සමාජ තත්ත්වය, වරප්‍රසාද යනාදිය විනාශවිය හැකි වුවද, යම් දිනෙක යලිත් උපයාගත හැකි වුවද උපතින් ලැබෙන ජාතිය හෝ ජනවර්ගය, කුලය, වාසගම, ආගම යනාදිය වෙනස්කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම බොහෝ අසීරුය. එයට හේතුව සමාජයත් සමග අප බැදී පවතින සංස්කෘතිකමය හා සමාජමය කාරණා ඉහත කී ආරෝපිත දේවල් සමග සම්බන්ධ වී ඇති නිසාවෙනි. වර්තමානයේදී මිනිසුන් විවිධ වුවමනාවන් සඳහා තම ආගම, වාසගම, ජාතිකත්වය යනාදිය වෙනස්කරනු දැකිය හැකිය. එමෙන්ම උපතින් ලැබූ ලිංගිකත්වය මනසින් දැනෙන ලිංගිකත්වය හා ගැලපෙන්නේ නැත්නම් ලිංගික අවයව පවා වෙනස්කරනු දැකිය හැකිය. සමාජ සම්මතය විෂම ලිංගික සම්බන්ධතා අනුමත කරන හා බලකරන ආකාරයේ ඒවා වුවද නූතන සමාජය සමලිංගික සම්බන්ධතාද දැන් දැන් පිළිගන්නා මට්ටමට පැමිණ ඇත. එහෙත් මේ වෙනස්කම් සියල්ල සංස්කෘතිකමය වශයෙන් සමාජය තුළ යම් යම් ආකාරයේ කම්පනයන් ඇතිකරවන, කතිකාවන් ඇතිකරවන සුළු ආකාරයේ ඒවා වේ. සංස්කෘතිය හා සමාජය සමග ඉතා දැඩිව කුළුපඟ සම්ප්‍රදායික මිනිසුන් ඒවා පිළිගැනීමට අකමැතිද විය හැකිය.

මේ සියල්ල මගින් පෙන්නුම් කරන්නේ මිනිසුන් වෙනස්වීමට හෝ වෙනස් දේවල් පිළිගැනීමට හෝ මැලි බවයි.

පහත දැක්වෙන්නේ එම ස්වාමිපුරුෂයාගේ කතාන්දරයයි.

2016 ජූලි මාසයේදී මම මාගේ භාර්යාව වශයෙන් ඩෙබී තොරාගත් අතර විවාහයත් සමග මාගේ නමට ඇයගේ නමේ කොටසක්ද එකතු කරගතිමි. මාගේ පෙර නම Wayne Harding, né Nell වූ අතර ඇය Debby Harding වූවාය. මා විසින් සිදුකළේ මාගේ නමේ අගට ඇයගේ Harding වාසගම එකතුකිරීමයි. එහෙත් ඉතාමත්ම සතුටින් කළ මෙම වාසගම එකතුකිරීම මාගේ පවුලට හෝ රැකියා ස්ථානයට විශාල බලපෑමක් සිදුකරාවි යැයි මා සිතුවේ නැත. විවාහයෙන් පසුව මාගේ නමට බිරිඳගේ නම ඈදාගැනීම පිළිබඳ තීරණය ගැනීමට මා ඔළුව මහන්සි කළේ නැත. පෙර පැවති සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස ඩෙබීට දියණියක් සිටි අතර අපට අවශ්‍ය වූයේ ඇයට කිබෙන වාසගම පවුලේ සියලුම දෙනාටද තිබීමයි. මා විවාහ වීමට පෙර ඩෙබීගේ දියණිය පැවසූයේ ඇයට වෙනස්කරන ලද නමක් සහිතව පාසල් යාමට අවශ්‍ය නැති බවය. එමෙන්ම ඇය පැවසූ දෙයෙහි ඇති යථාර්ථයද මට අවබෝධ විය.

අපගේ විවාහය සිදුවූයේ සයිප්‍රස්හිදී වන අතර දකුණු අප්‍රිකානුවෙක් වන මාගේ පවුලේ කිසිම කෙනෙකු විවාහයට සහභාගී වූයේ නැත. මගේ නම වෙනස්කිරීම හා භාර්යාවගේ නමෙහි කොටසක් ඈදාගැනීම මා පවුලේ අයට පැවසුවේ නැති අතර එය සැලසුම් කළ දෙයක්ද නොවීය. එමෙන්ම එය ප්‍රශ්න ඇතිකරවන තරම් බරපතල දෙයක් වේයැයි මා සිතුවේද නැත.

මගේ පියා හා සහෝදරයා විසින් මා විසින් නම වෙනස්කර ඇති බව දැනගනු ලැබූවේ මුහුණු පොතේ මාගේ නම වෙනස් කිරීමෙන් පසුවය. ඔවුන් ඒ පිළිබඳ සතුටු වූයේ නැත. මම පියාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පැවසූයේ “තාත්තේ ඒක නිකම්ම නිකම් නමක් විතරයි. එහෙම කළා කියල ලෝකෙ විනාශ වෙන්නෙ නෑ” යනුවෙනි.

එහෙත් ඔහු පැවසූයේ මා විසින් කර ඇත්තේ ඔහුට හා පවුලට කම්මුල් පහරක් ගැසීමක් වන බවයි. පසුව ඔහු කෙටි පණිවිඩයක් එවමින් පවසා තිබුණේ “ඔහුගේ පපුවට පිහියෙන් ඇන්නා නම් මීට වඩා හොඳ බවයි”.

මාගේ ප්‍රධානියෙක් පැවසූයේ මා විසින් සමලිංගික විවාහයක් සිදුකරගෙන ඇති බවට මිනිසුන් සිතිය හැකි බවයි.

වඩාත් පුදුම සහගත ප්‍රතිචාරය ලැබුණේ මම රැකියාව කරන ස්ථානයේදීය. 100 ක් පමණ පවුල් ජීවත්වෙන නිවාස සංකීර්ණයක මා දේපළ කළමණාකරු වන අතර මාගේ නම වෙනස් කළ බව ආයතන ප්‍රධානියා දැනගැනීමෙන් පසුව ඔහු දන්වා තිබුණේ මා රැකියාවට ආ විගසම ඔහු හමුවී මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතු බවයි.

මාගේ නම වෙනස්කිරීම ව්‍යාපාරය හා ගනුදෙනු කරන්නන් අතර දෝංකාරයක් ඇතිකරන ආකාරයේ සාකච්ඡාවක් විය හැකි බවයි.

ඔහු පැවසූයේ මා සමලිංගික විවාහයක් කරගෙන ඇතැයි මිනිසුන් විසින් සිතිය හැකි බවත් එම නිසා ඊමේල් පණිවිඩ යැවීමේදී මාගේ නම හා අත්සන මගින් මා විවාහ වී ඇත්තේ කාන්තාවක් සමග බව තහවුරු වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි. මා හට එය අප්‍රසන්න අත්දැකීමක් වූ අතර රැකියාව හැරයාමට ලබාදුන් ඉඟියක් ලෙස ද දැනුණි. පැහැදිලිවම ඒ ආකාරයේ පැමිණිලි ඉදිරිපත් වී තිබුණි. එහෙත් කිසිවෙකු සෘජුව මා හට කිසිවක් පැවසුවේද නැත.

මෙම අත්සන් සිදුවීම අවසන් වූයේ මා විසින් මාගේ භාර්යාවගේ වාසගම ලබාගත් බව දක්වන ප්‍රකාශය අවශ්‍ය නොවන බව ආයතනයේ මානව සම්පත් කළමනාකරු විසින් පැවසීමත් සමගය. එහෙත් තවමත් ආයතන ප්‍රධානියා මාගේ අලුත් නමෙන් ආමන්ත්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන අතර මාගේ නමෙහි මැදකොටසින් ආමන්ත්‍රණය කරයි.

මෙම ප්‍රශ්නයටම මා මුහුණදුන්නේ බැංකුවට ගොස් මාගේ ගිණුමෙහි ඇති නම වෙනස් කිරීමට උත්සාහ කරන අවස්ථාවේදීය. බැංකු නිලධාරීයා පැවසූයේ මාගේ නමේ වාසගම වෙනුවට භාර්යාවගේ නමෙහි වාසගම යොදා ඇති අලුත් නම භාරගැනීමට ඔවුන්ට නොහැකි බවයි. එමෙන්ම මීට පෙර කිසිම පිරිමියෙකු එලෙස කර නොමැති බවයි. අවසානයේදී මෙම ප්‍රශ්නය බැංකු කළමණාකරු වෙතටද ඉදිරිපත් වූ අතර ඔවුන් මාගේ ගිණුමෙහි නම වෙනස්කිරීමට කැමැත්ත පළ කළේ බොහෝ වේලාවක් ගෙන බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන්ද උපදෙස් ගැනීමෙන් අනතුරුවය.

මෙම ප්‍රශ්නවලින් පසුව මා හට පැහැදිලි වූයේ වාසගම් වෙනස්කිරීම බොහෝ අවස්ථාවලදී සිදුකරන්නේ වැඩිහිටි මිනිසුන් වන නිසා තරුණ වයසේදී වාසගම වෙනස්කිරීම මගින් මා විසින් සිදුකර ඇත්තේ පවත්නා සම්ප්‍රදායයක් බිඳදැමීමක් වන බවයි. එහෙත් බලන්න බි්‍රතාන්‍ය රැජින දිහා! මා 2000 වර්ෂයෙදී එංගලන්ත පුරවැසිභාවය ගැනීමට අදාළ පරීක්ෂණයට මුහුණ දෙන කාලයේදී පැවති ප්‍රශ්නයක් වූවේ දෙවන එළිසබෙත් රැජින ඇයගේ වාසගම ලෙස වින්සර් යන්න තබාගැනීමත්, පිලිප් කුමරු ඔහුගේ පියාගේ වාසගම අතහැර මවගේ වාසගම වූ මවුන්ට්බැට්න් යන්න යොදාගැනීමත්ය. එහෙත් බොහෝ බ්‍රිතාන්‍ය මිනිසුන් ඒ පිළිබඳව දන්නේ නැත.

එහෙත් මාගේ මාමණ්ඩිය පැවසූයේ මා විසින් ඇයගේ දියණිය වෙනුවෙන් කළ දෙය ඔහු බොහෝ අගය කරන බවයි. වාසගම පිළිබඳ ප්‍රශ්නයේදී මගේ පවුලේ අය දුක්වීම ගැන මා කණගාටු වන නමුත් මා විසින් ගත් තීරණය ගැන කිසිදු පසුතැවීමක් නැහැ.

- තුෂාර මනෝජ් | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment