කැබිනට් සංශෝධනය කල්යන හේතුව මෙන්න.


ජනාධිපතිවරයා විසින් විමසා ඇති කරුණු කිහිපයකට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ලැබෙන තුරු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුනොවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ජනාධිපතිවරයා විසින් විමසා ඇති එම කරුණු වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ මේ වන තුරු ලැබී නොමැති බවත් එය බොහෝ දුරට එළඹෙන සිකුරාදා දිනයේ ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම සතියේ දිනයක කැබිනට් සංශෝධනයක් සිදුවන බවට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබුණත් පවතින වාතාවරණය යටතේ එවැන්නක් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවය.

කරුණු දෙකක් ගැන ජනාධිපතිගේ අවධානය

එසේම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට ජනාධිපතිවරයා විසින් කරුණු දෙකක් පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නෛතික නිර්දේශ විමසා ඇත.

ඒ ජාතික ආණ්ඩුවේ එක් පාර්ශවයක් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමේ නෛතික පසුබිම සහ එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සම්පුර්ණ වෙනසක් සිදුකිරීම වෙනුවෙන් මැදිහත්වීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත බලයක් තිබේද? යන්නය.

ඇමති සුසිල්ගේ කතාව

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් කරුණු විමසීමක් සිදුකර ඇති බවත් එහිදී ලැබෙන තීරණය මත ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවනවාද යන්න සම්බන්ධව තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිත බව සඳහන් කර ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.

අද කැබිනට් සංශෝධනයක් නෑ - ජනාධිපති ලේකම්

එසේම අද (21) දිනයේ කැබිනට් සංශෝධනයක් සිදුනොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින්ද මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කැබිනට් සංශෝධනයට අදාළ ලිපි ලේඛන මේ වන තුරු සකසා අවසන්ව නැති බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment