බදාදා රාත්‍රියේ ජේකබ් සූමා ඉල්ලා අස්වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේ පස්වන ජනාධිපතිවරයා වශයෙන් සිරිල් රැම්පෝසා දිවුරුම් දුන්නේය.
65 හැවිරිදි සිරිල් රැම්පෝසා, සූමාගේ පාලන සමයේදී අවසන් කාලයේ දකුණු අප්‍රිකාවේ උප ජනපති පදවිය හෙබවීය. සූමා ඉල්ලා අස්වීමත් සමග ඔහු ස්වයංක්‍රීය ව අන්තර්වාර ජනාධිපතිවරයා බවට පත්විය. අවසානයේ, ජේකබ් සූමාගේ 9 අවුරුදු ඒකාධිපති පාලනය යටතේ දියුණුවේ අන්තයටම පිරිහුණු දකුණු අප්‍රිකාව නැවත නගා සිටුවීමේ කාර්යය ඔහු අබියස ය.
ගල් අඟුරු ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කරන දක්ෂ ව්‍යාපාරිකයෙකු වන ඔහු, දකුණු අප්‍රිකාවේ ආර්ථිකය නගා සිටුවන්නේ කෙසේදැයි මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබේ.
ඒ හැරුණු විට ඔහු දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය මුලිනුපුටා දැමීමට ක්‍රියා කළ මානවහිතවාදී නායකයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රියතම චරිතයක් ද විය. නෙල්සන් මැන්ඩෙලා සහ සුදු ජාතික ව්‍යාපාරික ප්‍රජාව අතර පාලමක් සේ ද සමථකරුවෙක් සේ ද ක්‍රියා කළ චරිතය සිරිල් රැම්පෝසා ය. මැන්ඩෙලා හැමවිටම විශ්වාස කළ දෙයක් වූයේ තමන්ගෙන් පසු දකුණු අප්‍රිකාවේ සුක්කානම භාරගත යුත්තේ සිරිල් රැම්පෝසා විසින් බවයි. ඒ වන විට පිටුවහලේ සිටි තවත් වර්ණභේද විරෝධී නායකයෙකු වු තාබෝ එම්බෙකි සියරට බලා ආවේය. රැම්පෝසාට ජනපති සිහිනය කල් දමන්නට සිදුවූයේ අප්‍රිකානු ජාතික කොංග්‍රස් නායකත්වය ද එම්බෙකි ට භාර වූ නිසා ය. එම්බෙකි බලයට පත්වීමත් සමග දේශපාලනය ගැන කළකිරුණු රැම්පෝසා තමන්ගේම ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩ නගා ගත්තේය. දකුණු අප්‍රිකාවේ ධනවත්ම මිනිසුන් අතරට ගැනෙන ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් යැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් සඟරා පවසයි.
ඉන්පසුව එළඹුණේ වඩාත් සාහසික නායකයෙකු වූ ජේකබ් සූමාගේ පාලන සමයයි. ඒ කාලයේදී ඔහු සූමාගේ දූෂණයෙන් බහුල පාලනය නිර්දය ලෙස විවේචනය කරන්නෙකු බවට පත්විය. අප්‍රිකානු ජාතික කොංග්‍රසයට ඔහුව නැවත උවමනා විය. කෙසේ හෝ අවසානයේ මැන්ඩෙලාගේ සිහිනය වෙනුවෙන් ඔහුට දහ නව අවුරුද්දක් බලා සිටීමට සිදුවිය.
අවසානයේ ඔහුට භාරගන්නට සිදුවුණේ ස්වභාවික සම්පත්වලින් ආඩ්‍ය, නමුත් අසමානතාවය සහ දිළිඳු බව ඔඩු දුවා ඇති රටකි.
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී නීතිය හෙවත් ඇපාතෙයිඩ් නීතිය අවසන් වී වසර 23 ක් ගත වී ඇත. ජේකබ් සූමාගේ මෙන්ම රැම්පෝසාගේ ද පක්ෂය වන දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) ගතවූ ආණ්ඩු කිහිපය තුළම දුගී ජනතාවට නිවාස සහ යටිතල පහසුකම් සේවාවන් ලබාදීමට උත්සාහ ගෙන ඇති නමුත් ඒවා කිසිවිටෙක අපේක්ෂිත සාධන මට්ටම කරා ළඟා වූයේ නැත. සූමාගේ සමයේ පාසල් යන දරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවුවද එම පාසල් ඉදිකිරීමට වැය කළ මුදලට වඩා විශාල ධන සම්භාරයක් සූමා සහ ඔහුගේ කොන්ත්‍රාත් සහචරයන් විසින් ගසා කා ඇති බව කියයි. දකුණු අප්‍රිකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකළ වඩාත්ම මෑතකාලීන අධ්‍යයනයකට අනුව එරට සෑම නව හැවිරිදි දරුවන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම අකුරු ලිවීමේ, කියවීමේ හැකියාව, එනම් සාක්ෂරතාවය බිංදුවකි.
එච්අයිවී ඒඩ්ස් සඳහා ලබාදෙන ඔසු ද සූමාගේ කාලයේ බහුල සහ පහසුවෙන් ලබාගත හැකි තත්වයට පත්වුවත් ඒවායේ දී ද මහාපරිමාණ දූෂණ අපවාද අරක් ගෙන තිබේ. එසේම ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද පසුගිය වර්ෂවල සීඝ්‍රයෙන් ඉහළ ගොසිනි. 2002 වසරේදී ඒඩ්ස් රෝගය සමග ජීවත් වන දකුණු අප්‍රිකානු ජනතාවගේ ප්‍රමාණය මිලියන 4.72 ක් වූ අතර, 2016 වසරේදී එම සංඛ්‍යාව මිලියන 7.03 ක් දක්වා, එනම් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබේ. ඒ මදිවාට දකුණු අප්‍රිකාව, ලෝකයේ ඉහළම ප්‍රචණ්ඩත්වයක් වාර්තාවන රටවල් අතර මුල් තැනට පැමිණ තිබේ.
දකුණු අප්‍රිකාවේ දෙවන නගරය සහ විශාලතම නගරය වශයෙන් සැලකෙන කේප් ටවුන් හි පවතින උග්‍ර ජල හිඟයට ද කිසිදු ස්ථිර සාර විසඳුමක් මේ දක්වා ලැබී නැත. අප්‍රේල් මාසය වන විට නගරයේ සියලු ජල කරාම සිඳී ගොස් දිය පොදක් නැති ‘ඩේ සීරෝ‘ උදා වන බව කලින් කියා තිබුණි. පසුගිය සතියේ හදිසියේ වැටුණු වැස්සෙන් ඇත්තෙන්ම සිදුවී තිබෙන්නේ එම දිනය මැයි මාසය දක්වා කල් යාම පමණකි.
දකුණු අප්‍රිකාවේ විරැකියා ප්‍රතිශතය ද මේ වන විට පවතින්නේ 27.7% ක් වන ඉතිහාසයේ ඉහළම අගයේ ය. තරුණ පිරිස අතර විරැකියා ප්‍රතිශතය 69% ක් තරම් ඉහළ අගයකි. ආර්ථික වර්ධන වේගය පවතින්නේ 1.2% ක් වැනි අවමයක ය. එය මේ වසරේ රැම්පෝසාගේ නායකත්වය යටතේ 2% ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නමුත් එය සිතන තරම් ප්‍රායෝගික දෙයක් නොවනු ඇත්තේ දකුණු අප්‍රිකාවේ ශ්‍රම බලකායෙන් බහුතරය, එනම් මිලියන ගණනක්ම කුසලතා රහිත ශ්‍රමිකයන් වන හෙයිනි. එසේම කුඩා ගණන්වල පගා ඉල්ලා සිටින ට්‍රැෆික් පොලිස් රාළහාමිලාගේ සිට මිලියන ගණනක් පගා ඉල්ලා සිටින දේශපාලකයන් දක්වා දකුණු අප්‍රිකාවේ ක්‍රමය අති දූෂිත වී තිබේ. දූෂණය සහ පගාව විසින් එසේ නැතිකර දමා තිබෙන්නේ මහජන මුදල් පමණක් නොවේ. මහජනයාට රජය කෙරෙහි පවතින විශ්වාසය ද ඒ තරමටම එමගින් පළුදු වී ඇත.
දකුණු අප්‍රිකාවේ ආයතන වශයෙන් සැලකූ විට ශක්තිමත් ආයතන ගණනාවක් තිබේ. අධිකරණය එයින් ප්‍රධාන ය. නමුත් ලංකාවේ මෙනම් දකුණු අප්‍රිකාවේ ද අධිකරණයේ ප්‍රබලතාවය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින්නේ අල්ප බලාපොරොත්තුවකි. එසේම එය ලංකාවටද වඩා පිරිහී තිබේ. මේ සතියේ ඩර්බන් නුවරින් අසන්නට ලැබුණු එක් පුවතකට අනුව නීතිමය ලියකියවිලි සඳහා අධිකරණ නිලධාරීන් විසින් දියමන්ති සහ බැංකු නෝට්ටු ගෝනියක් හුවමාරු කර ගෙන තිබේ.
දකුණු අප්‍රිකාවේ ජනගහනයෙන් 30%ක්ම වයස අවුරුදු 15ට අඩු අය ය. මේ අය 1994 වසරේ සිදුවූ අධිරාජ්‍ය විරෝධී කැළඹීම නොදනිති. රටෙන් අති බහුතරය අද ද සුදු ජාතිකයන් දෙස බලන්නේ වෛරී සිතිනි. සුද්දන් විසින් කල්ලන් තළා පෙලූ ඉතිහාසයෙන් පසු දැන් එළඹ තිබෙන්නේ කල්ලන් විසින් සුද්දන්ට රිටර්න් එක දිය යුතු යුගය බව ඔවුහු තවමත් විශ්වාස කරති. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නෙල්සන් මැන්ඩෙලාගෙන් පසුව දකුණු අප්‍රිකාවේ සුක්කානම භාරගත් එකදු පාලකයෙක්වත් කරදර වුණේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙසට අද වන විට සුදු සම ඇත්තෝ කල්ලන් අතින් දෙවැනි පන්තියේ පුරවැසියන් සේ ගැරහුම් ලබති.
මේ වාතාවරණය තුළ රැම්පෝසා කළ යුතු පළමු දෙය, 2019 මැතිවරණයට පෙර පාලක පක්ෂය හෙවත් අප්‍රිකානු ජාතික කොංග්‍රසය එක් තැනකට ගෙන ඒමයි. මෙම පක්ෂයේ දේශපාලනික ප්‍රමුඛත්වයට අභියෝග කළ හැකි පක්ෂයක් දකුණු අප්‍රිකානු දේශපාලනය තුළ තවම පහළ වී නැත. නමුත් එම පක්ෂයේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ බසින බව පෙනී යයි. මෑතකදී පැවති නගර සභා ඡන්දයේදී ඒ බව මනාව දැකගත හැකි විය. සූමාගේ අනුගාමිකයන් එක්තැන් කිරීම සහ ඔවුන් සමග සමථයකට එළඹීම කිසිසේත් පහසු නොවනු ඇති නමුත් දේශපාලන ස්ථාවරභාවය තකා එසේ කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත.
ජාත්‍යන්තර විචාරකයන්ට අනුව සිරිල් රැම්පෝසා ANC පක්ෂයේ නායකත්වයට පසුගිය දෙසැම්බරයේ පත්වීම, පක්ෂයේ සන්ධිස්ථානයකටත් වඩා රටේ සන්ධිස්ථානයකි. ඒ බව සපථ කරමින් දැන් ඔහු දකුණු අප්‍රිකාවේ සුක්කානම සියතට ගෙන සිටියි. මේ මොහොතේ දකුණු අප්‍රිකානුවන් මිලියන 54 ක් ඇතුළුව මුළු ලෝකයම ඔහු දෙස බලා සිටිනුයේ අබල දුබල වී ඇති දකුණු අප්‍රිකාව නමැති නෞකාව, ලෝක සිතියම තුළ ඔහු පදවාගෙන යන දිශාව දෙස ය.
“දූෂණයෙන් තොර රටක් පිළිබඳ මිනිසුන්ට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ පොරොන්දුව අප කඩ නොකළ යුතුයි” යැයි රැම්පෝසා විශ්වාසයෙන් කියයි.
- අමාලි ජයවීර | outboundtoday.com
0 comments :
Post a Comment