පළවෙනියන් පිළිබඳ කතාව මහ ඉහළින් සිදුකෙරෙද්දී විවිධ හේතු මත විභාගය අසමත් වූවන් වැටෙන්නේ අන්ත අවාසනාවන්තයන්ගේ ගොන්නට ය. එයිනුත් විද්‍යා විෂය හැදෑරූවන් විෂය නිර්දේශයෙහි අසීරු බවට පින් සිදුවන්නට නම්බු පිටින් බේරී යන මුත් වාණිජ හෝ කලා විෂයන් හදාරා අසමත් වූවන්ට නම් ඉතින් දෙවියන්ගේ ම පිහිටය. මෙහි දී මාගේ දේශපාලන විද්‍යා ගුරුතුමා කියා දුන් පරිදි “ජයග්‍රාහකයාට පියවරු දහසකි. පරාජිතයා අවජාතකයෙකි.” යන කියමන නැවත නැවත සිහි ගන්වමින් විභාගය අසමත් වූවන්ට දිගට හරහට දොස් පවරනවා විනා ඔවුන්ගේ අසමත් වීමට බලපෑ හේතු මොනවාද? ඔවුන්ව ඒ තත්ත්වයෙන් ඔසවා තැබීමට රටෙහි පුරවැසියන් ලෙස අපට කළ හැක්කේ කුමක්ද? යන කරුණු පිළිබඳ කතා බහකට එලඹීමටවත් අප සමාජයක් ලෙස අසමත්ව ඇත.
ලංකාව විශ්වවිද්‍යාලය දක්වා ම නිදහස් අධ්‍යාපනය ලබා දෙන රටක් යනුවෙන් අප ආඩම්බරයෙන් කීවද අ.පො.ස. උසස් පෙළට සාපේක්ෂව ගත් කල නම් එම කතාව පට්ටපල් බොරුවකි. සාඩින් ටින්වල මාලු ඇසුරුවාටත් අන්ත‚ ශාලා පන්තිවල (hall classes) ඉගෙන ගැනීමටත් එක් විෂයක් සඳහා මසකට ගෙවීමට සිදුවන මුදල රුපියල් 1800 පමණ ය. කණ්ඩායම් පන්ති (group classes) සඳහා මෙම මුදල ඇතැම් අවස්ථාවල එක් විෂයක් සඳහා මසකට රුපියල් 3000ත් 5000ත් පමණ වන අතර විෂයෙහි කෙළ පැමිණි ආචාර්යවරයෙකු හෝ මහාචාර්යවරයෙකු නිවසට ම ගෙන්වා ගෙන තනිව ම ඉගැන්වීමට (Individual tuition class) නම් අතිවිශාල මුදලක් ගෙවීමට සිදු වේ. ඒ අනුව විෂයන් 3ට ම අවම වශයෙන් එක් සිසුවෙකුට දැරීමට සිදුවන වැය බර රුපියල් 5400කි. මෙවැනි අවම මුදලක් තම දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට දෙමවුපියන්ට හැකි ද යන්න විමසා බැලීම අතිශය වැදගත් සමාජයීය කාරණාවකි.
මීට අමතරව තම පවුලේත් සහෝදර සහෝදරියන්ගේත් සුභසිද්ධිය වෙනුවෙන් උසස් පෙළ විභාගය පරදුවට තැබූ සිසුන් පිළිබඳව ද සමාජයේ හිමි වන්නේ ඉතා අඩු අවධානයකි. දහස් ගණනක් වූ මිතුරු කැල ප්‍රථමස්ථාන සොයා හැල්මේ දිව යද්දී මෙවැනි සිසු සිසුවියන් සිතන්නේ තමා පළවෙනියකු වීම පිළිබඳ නොව තම පවුල සහ සොහොයුරු සොහොයුරියන් පළමු තැන් හි තැබීම පිළිබඳ පමණි.
මේ ගැන තවදුරටත් කතා නොකර ම දිනක් මට අසන්නට ලැබුණු සිද්ධියක් මෙසේ දිග හරින්නෙමි. එක්තරා ගමක ඉතා දුප්පත් පවුලක සොහොයුරන් දෙදෙනකු විය. දිනක් මින් බාල සොහොයුරා පාසල් ගොස් ගෙදර එන අතර ඔහුට තිබූ එක ම සපත්තු කුට්ටමෙන් එක් සපත්තුවක් කැඩී ගියේ ය. නිවසේ තිබූ අගහිඟකම් නිසා ඉක්මනින් අලුත් සපත්තු කුට්ටමක් ගැනීම නම් මේ අයියාට සහ මල්ලීට සිහිනයක් ම විය. නමුත් වැඩිමල් සහෝදරයා තම මල්ලී අස්වසමින් කියා සිටියේ මම කොහොම හරි උඹට ඉක්මනින් ම අලුත් සපත්තු ජෝඩුවක් අරගෙන දෙන්නම් යනුවෙනි.
මේ අතර අලුත් අවුරුද්ද උදා වූයේ ගම ම වසන්ත සිරියෙන් පුබුදුවාලමිණි. ගමේ අවුරුදු උත්සවය වෙනදා මෙන් පැවැත්වෙන අතර මැරතන් තරඟයට ගමේ ම මැරතන් සූරයා වූ මෙම කතාවේ කතා නායක වූ අයියා ද ඉදිරිපත් වී සිටියේ ය. නියමිත වේලාවට ම තරඟය ආරම්භ විය. වෙනදා අෙනක් සියලු දෙනාට ම මීටර් සිය ගණනක් ඉදිරියෙන් පසුවන සූරයා අද දෙවන තැන ය. ඔහුට පලමුවෙනියා වන්නට කිසි ම උවමනාවක් ඇති බවක් ද නොපෙනේ. ටිකින් ටික තරඟය නිමා වන තැනට ම ළං විය. එහෙත් අප කතා නායකයා තවමත් දෙවන තැන ය. තුන්වෙනියා නම් තවමත් පෙනෙන තෙක් මානයකවත් නැත. මෙතෙක් කල් සිහිනයක් පමණක් වූ ඒ මැරතන් ජයග්‍රහණය දැන් දැන් පළමුවෙන් දිව යන තරුණයා ආසන්නයේය. එහෙත් අප කතා නායකයාගේ වාසනාව හෝ අවාසනාව පළමුවෙනියාගේ ජයග්‍රහණයට හරස් විය. පාරේ මතු ව තිබූ ගල් කැබැල්ලක පය පැටලුණු ඔහු ඉවතට විසි වූයේ අප කතා නායකයාට ජයග්‍රහණයට පැහැදිලි මංපෙත් විවර කරමිණි. දැන් ඉතින් දිනුම් කනුව වෙත යනවා මිස කුමක් කරන්න ද? ඒත් සමඟ ම සියලු දෙනාගේ ඔල්වරසන් මැද මෙවරත් ගමේ මැරතන් සූරයා වන්නට අප කතා නායකයාට හැකි විය.
එහෙත් විනිශ්චය මණ්ඩලය වෙත දිව ගිය ඔහු කර සිටියේ එක ම ඉල්ලීමකි. එනම් අනේ මට දෙවන තැන දෙන්න: යනුවෙනි. ඔහුගේ එම ඉල්ලීමට හේතුවක් තිබිණි. එනම් තරඟයේ දෙවන ස්ථානයට පාවහන් යුවලක් ප්‍රදානය කරන බවට දැනගන්නට ලැබී තිබීමයි. මෙම සහෝදරයාට අවශ්‍ය ව තිබුනේ ජයග්‍රහණයේ කිරුළු පැළඳීමට නොව තම බාල සොහොයුරාට ලබා දී තිබූ පොරොන්දුව ඉටු කර ඔහුව සතුටු කිරීමට විය.
ඉතින් මිතුර මිතුරිය, ජයග්‍රහණය යනු සෑම අවස්ථාවක ම පළමුවන තැන ලැබීම ද?
නීතීඥ D. සුපුන් රෂින්ද ජයවර්ධන
0 comments :
Post a Comment