මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණේ ජාතික ධීවර සහයෝගිතා පදනම විසිනි. ඒ සඳහා උතුරු නැගෙනහිර ඉඩම් අහිමි වූ ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටි අතර ස්විස්ටර්ලන්තයේ මහජන සංවිධානයක සාමාජිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
මුලතිව් පොදු වෙළඳ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලද විරෝධතා පා ගමන මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණ එහි විරෝධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව අවසන් විය.
විරෝධතාවයේ නිරත වූවන් පවසන්නේ, යුද්ධය නිමා වී වසර 9 ක් ගත වුණත් පැවති රජයන් හා වත්මන් රජයද ඉඩම් නොමැති ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීම දිනෙන් දින කල් අරින බවයි.
විරෝධතා පා ගමනට එක වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු වන හර්මන් කුමාර මහතා කියා සිටියේ,
"මේ වන විට උතුරු නැගෙනහිර ඉඩම් අහිමි වූ ජනතාව දින 365 කට අධික කාලයක් තමන්ගේ ඉඩම් ඉල්ලා අරගල කරනවා. මේ අරගලයට සහය දීමක් වශයෙන් නැගෙනහිරින් වගේම දකුණින් ඉඩම් අහිමි වූ ජනතාව ඇවිත් ඉන්නවා. ඉඩම් අහිමි වූ ජනතා ගැටලුව වෙනුවෙන් අපිඅධ්‍යයන වාර්තාවක් සිදු කළා. එමඟින් අපි පෙන්වා දෙන්නේ ඉඩම් අහිමි වූ ජනතාව මෙන්ම ඉඩම් ලැබුණු ජනතාවට කිසිදු පහසුකමක් නොමැති වීම හා එම වැසියන්ට නිවසක් හෝ ජීවන ආර්ථික ක්‍රමයක් ලැබිය යුතු බවයි. අපි ඉල්ලා සිටින්නේ මේ ගැටලුව ගැන බලධාරීන් සංවේදී වෙලා විසඳා දෙන ලෙසයි."
රොමේෂ් මධුෂංඛ - වන්නි
0 comments :
Post a Comment