ප්‍රතිඵලය දෙස හැරී බැලීමක්.


සාපේක්ෂව මෑත කාලයේ පැවති සාමකාමීම මැතිවරණ සටන අවසන් වී ඇත. පුවත්පත මුද්‍රණයට යන විට මෙවර පළාත් පාලන මැතිවරණය පැවති පළාත පාලන ආයතන බහුතරයක නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව අවසන් වී තිබේ. සාපේක්ෂව සැලකිය යුතු පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැති තරම්ය. ආණ්ඩු බලය සහිත ප්‍රධාන පක්ෂ දෙක මෙන්ම පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක වැඩි මන්ත්‍රීධූර ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවා පවතින දේශපාලන තත්ත්වයට අනුගතව සිය ජයග්‍රහණය සමරන ආකාරය දැකිය හැකිය. මැතිවරණ අල්ලස්, දූෂණ සහ වංචා අවම වූ මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කෙලෙස විග්‍රහ කළද, අවසාන විග්‍රහයේදී මේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ඒ වෙනුවෙන් අරගල කරන පොදු මහජනතාව ලැබූ ජයග්‍රහණයක් බව කිව යුතුමය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදිව ක්‍රියාත්මක වීම නිසා අප මේ ප්‍රතිඵල සුළුකොට නොතැකිය යුතුය.  

එජාප පාක්ෂිකයා සහ ශ්‍රීලනිප බලපෑම

මෙවර මැතිවරණය තව දුරටත් සුවිශේෂි වන්නේ මැතිවරණ ක්‍රමයේ වෙනස නිසාම පමණක්ම නොවේ. කාන්තා නියෝජනය වැඩි වීම, ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා කිරීම එහි විශේෂත්වය තවත් තීව්‍ර කරයි. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් ඡන්ද දායකයන් තුළ පවතී නම් එහි අරුත ජනතාව වෙනසක් වෙනුවෙන් පෙළ ගැසීම යයි සමාජය තුළ විශ්වාසයක් පවතී. එම විශ්වාසය සාක්ෂාත් කරමින් ජාතික දේශපාලනය තුළ සෙලවීමක් සනිටුහන් කිරීමටට පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය සමත්ව ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පාක්ෂිකයා තුළ මෙම මැතිවරණය ගැන මුල සිටම දැඩි උනන්දුවක් පැවති බවක් නොපෙනිණ. මෙරට සාම්ප්‍රදායිකව ප්‍රධාන පක්ෂවලට ඡන්දය දෙන්නේ ඡන්ද දායකයන් නොවේ. ඔවුන් බහුතරය පාක්ෂිකයන්ය. එබැවින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පක්ෂය බලය දරන ආණ්ඩුවක්ය. එක්සත් ජාතික පාක්ෂිකයාද එසේමය. 2015 ජනාවරි 8 වෙනිදා වර්තමාන ජනපතිවරයා බලයට ගෙන ඒම සඳහා දැවැන්තම කාර්ය පැවරී තිබුණේ එජාපයටය. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයාට සිදු වූයේ 'තමන්ගේ නොවන තමන්ගේ ආණ්ඩුවක්' හැදීමටය. ඊට හේතු වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව ජනාධිපතිවරණයේදී පැරැදවීම සඳහා සැදී පැහැදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයාගේ නායකයා බවට ඔහුම පත් වීමයි. මේ තත්ත්වය තුළ එජාපය ඇතුළු ජනවාරි 8 පෙළගැස්ම රැක ගැනීම වෙනුවට තම පක්ෂය තුළ බලය තහවුරු කරගැනීමේ දැඩි අරගලයක් කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. ඒ තුළ තමන්ගේ ආණ්ඩුවක් තුළ  ජ්‍යේෂ්ඨ  නායකයකු ලෙස ජනාධිපතිවරයා තබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සෑදීමේ එජාප බලාපොරොත්තු බිඳ වැටිණ. අනෙක් අතට තම පක්ෂ නායකයා ජනාධිපති වීම තුළ තමන්ට වැඩි බලතල සහිත ආණ්ඩුවක් ලැබේයැයි ශ්‍රීලනිපයේ ජනාධිපතිවරයාට හිතවාදී කොටස් සිහින මැවූහ. එම සිහිනද සම්මුතිවාදී ආණ්ඩුව තුළ බිඳ වැටුණි.

දූෂණ විරෝධය සහ යහපාලන සිහිනය

2015 ජනවාරියට පෙර යුගය තුළ මෙරට දේශපාලන කරළිය තුළ වඩාත් කතා බහට ලක් වූ මාතෘකාව වූයේ දූෂණ විරෝධයයි. ඒ හරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දුන් ජනබලය ගොඩනැගුණි. නමුත් යහපාලන සම්මුතිවාදී රජය බලයට පත් වීමත් සමඟ දූෂණ විරෝධය සම්බන්ධව පැවති කතිකාවත් ගැන පැවතියේ අඩු අවධානයකි. ඒ පිළිබඳ අවධානය වැඩි කරනවා වෙනුවට යහපාලන රජයට සිදු වූයේ සිය රජයට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු බැඳීමටය. ඒ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමටයි. මේ අතර යහපාලන රජයේ අධිකරණ අමාත්‍යවරයා පැවති පාලනයේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ සිතාමතාම ප්‍රමාද කරන බවටද චෝදනා එල්ල විය. අවසන් විහ්‍රහයේදී භාරත ලක්ෂ්මන් ඝාතනයට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිර භාරයට ගැනීම හැරුණුවිට සිල් රෙදි නඩුව, හෙජින් ගනුදෙනුව, මිග් ගනුදෙනුව, රජයේ වාහන අවභාවිත චෝදනාව, 2015ට පෙර බැඳුම්කර නිකුතුවලදී සිදු කළා යැයි පැවසෙන දූෂණ ආදී චෝදනා සම්බන්ධ ක්‍රියාමාර්ග ඉතා ලිහිල් සහ ප්‍රමාද වන ස්වභාවයක් දිස් විය. එහෙත් පසුගිය පාලනයට එරෙහි කප්පරක් දූෂණ චෝදනා තිබියදී ආණ්ඩුව තමන් වෙතත් ඇඟිල්ල දික් කරන තුරු ඇල් මැරුණ ස්වභාවයකම සිටියේය. යහපාලන රජයට වසර තුනක් සපිරෙන තෙක් පෙර පැවති පාලනයට එරෙහි ඉහළ චෝදනා කිසිවකට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට රජය අපොහොසත් වීම තුළ යහපාලනය වෙනුවෙන් රොද බැඳි ජනතාව බලාපොරොත්තු කඩකරගත් තත්ත්වයක් නිර්මාණය විය. මෙවර පළාත් පාලන මැතිවරණ තුළ රජයේ පාර්ශ්වකාර පක්ෂ දෙකටම සුබ ලකුණු නොපෙන්වීමට එම ජනතාව තීරණය කර ඇති බවක් පැහැදිලිව දිස් ව ඇත.

නව පළාත් පාලන ආයතන සහ අනාගතය

වසර ගණනක ප්‍රමාදයකින් පසුව ඇල්පිටිය හැරුණුවිට ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම පළාත් පාලන ආයතන සිය කටයුතු එළඹෙන සතියේ අරඹන්නට නියමිතව ඇත. මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට මුහුණ දෙන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ දෙකක් ද මෙවර කුළුඳුලේ කටයුතු ඇරඹීමට නියමිතය. ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභා දෙකය.

නව පාලනය ඇරඹීමේදී ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ බලය දරන පක්ෂවලින් පරිබාහිර පක්ෂයක් පළාත් පාලන ආයතනවල බලය දැරීමේ වාසි මෙන්ම අවාසිද එකසේ පවතී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය හැඩ ගැසී ඇත්තේ විමධ්‍යගත වූ බල කේන්ද්‍රස්ථානවල සහ මධ්‍යම රජයේ පාලනයත් එකම පක්ෂයක් දැරීමටය. එසේ නොවන විට විශේෂයෙන් අමතර සැලකිල්ලකින් කටයුතු කිරීමට පළාත් පාලන ආයතනවලට සිදු වේ. ප්‍රමාණය ඉක්මවා ගිය බලතල ආරෝපණය කරගැනීමට ඔවුන්ට නොහැකි වේ. පසුගිය කාලයේ අසන්නට ලැබුණු ආකාරයෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට විදෙස් කාන්තාවන් අතවර කර නීතියෙන් කොටු පැනීමට හැකියාව නොලැබෙනු ඇත. කාන්තාවන් කෙළසා සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ හසර විවර නොවනු ඇත. මත්ද්‍රව්‍ය වෙළඳාම් කොට විධායකයේ ආරක්ෂාවෙන් බේරී සිටීමේ හැකියාව නොලැබෙනු ඇත. මෙම බල තුලනය සැලකීමේදී නම් මෙය පොදු මහජනතාවට හිතකර තත්ත්වයක් වේ. රජයේ ආධාර මත යැපෙන පළාත් පාලන ආයතන ප්‍රතිපාදන වෙන් කර ගැනීමේදී වෙනදාට වඩා මූල්‍ය විනයක් පවත්වා ගැනීමටද මේ නිසා සිදු වනු ඇත. නමුත් සුපුරුදු ලෙසම පරිපාලනමය කටයුතුවලදී මතගැටුම් හේතුවෙන් යම්තාක් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වීමේද ඉඩක් පවතින බවද අතිශයෝක්තියක් නොවේ.

කෙසේ වෙතත් මේ රටේ වර්තමානයේ ගොඩ නැගී ඇති වාතාවරණය නව පාලනයකට අලුත් ගමනක් ඇරඹීමට සුදුසුම තත්ත්වයකි. නව පාලනයට මුල සිටම මුහුණ දීමට ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කළ යාන්ත්‍රණයක් තුළය. මාධ්‍ය නිදහස තහවුරු කළ වාතාවරණයක් තුළය, විගණන පනත ගැන දැඩි උනන්දුවක්, සාකච්ඡාවක් පවතින ප්‍රජාවක් තුළය, දූෂණ වංචා විමර්ශනය කඩිනම් කිරීමට නව අධිකරණයක් ස්ථාපිත කරන කාල සීමාවක් තුළය. මෙවන් පසුබිමක් තුළ ආරම්භයේ සිටම නියමිත පරිපාලන පටිපාටිය, මූල්‍ය විනය, විනිවිදභාවය සහ මහජන කේන්ද්‍රීය සේවයක් ස්ථාපිත කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් නව පාලනයට ලැබේ. පෙර පැවති පාලනයන් තුළ දැමූ හැංගිමුත්තන් සෙල්ලම් නැවත ස්මරණය කර නොස්ටැලජික් සුවයක් ලැබීම විනා, නැවත් එවැනි සෙල්ලම් සඳහා ඉඩ හසර වෙන් කර ගැනීමට නව පළාත් පාලන ආයතනවලට හැකියාව නොලැබෙනු ඇත. ඔවුන් දරන එවැනි උත්සහයන් නැවත හැරවිය නොහැකි පරාජයන්ගෙන් කෙළවර කිරීමට, මතයෙන්, දැනුමෙන් සහ තොරතුරුවලින් සන්නද්ධ පුරවැසියන් පිරිසක් සැදී පැහැදී බලා සිටිති.

(මංජුල සමරසේකර)
www.resa.lk

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment