ඉස්සර මාලිගාවත්තේ ඉද්දි වගේ වෙනද පුරුදු විදිහට සරම නවාගෙන පේමන්ට් එක උඩ වාඩිවෙලා දුමක් දාගෙන හිටපු ජෝති එක පාර උඩ ගියා “යකෝ මගේ සින්දුවක්, උගේ වගේ කිය කියා යන එකා කවුද?”. අමුතු තොප්පියක් දාල රවුං කන්නාඩි දාපු මූණේ තැනින් තැන ජපන් ක්‍රමේට පැළ හිටෙව්වා වගේ රැවුල වවා ගත්තු සුද්දෙක්.
“ආ! මේ ජෝතිපාල නේද?” සුද්ද අහපි.
“ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ ඇති ඉහලම සතුටයි මෙලොවේ” .... සුද්ද තව කියපි
ජෝතිපාලගෙ දුමත් ඉස්මොල්ලේ ගියා.
“මම ලියොන් ට්‍රොට්ස්කි. සමා වෙන්න සින්දුව කෑව නේ?”
“........ කමක් නෑ! පුතෙක් වත් හිටියනං මිනිස්සුන්ට මගේ සිංදු එපා කරවන්න තිබුණ. ...”
“සර් මොකද මේ පැත්තේ?”
“අනේ මන්ද ඔය සහෝදරයගෙ රටේ දේශපාලන තත්වෙ දැකල මට දැන් හරාකිරි කරගන්නයි හිතිල තියෙන්නේ.” ට්‍රොට්ස්කි දකුණු අතින් බඩ හරහට ඉරක් ඇන්ද. මිනිහ බඩ කපාගෙන මැරෙන්න ඉඟි කරනවා කියල හිතුනත්, ලන්ඩන් බ්‍රිගේඩියර් බෙල්ල කැසුවා වගේ ට්‍රොට්ස්කි තදිම්ම බඩ කසන බව ජෝතිට වැටහුනා.
“සහෝදරයාගේ බඩේ කුෂ්ඨයක් නැත්නං වණයක් වත්ද? ලඟදි මං දන්න එක්කෙනෙක් දේශපාලන රැකවරණ ප්‍රතික්ෂේප වෙච්චි දෙමළ මල්ලිලා කට්ටියකට ඔහොම බෙල්ල කපපු හැටි පෙන්නුවා කියල මිනිහ අභීත රණ විරුවෙක් කරන්න කට්ටිය දැඟලුව. ඒකට අපේ මහේන්ද්‍ර මන්ත්‍රී රජ තුමා කියල තිබුනෙ එහෙම කියන එක වැරදියි, මිනිහ ජාතික කොඩිය පෙන්නලා බෙල්ල කැසුව විතරයි කියල. මං හිතන්නේ බ්‍රිගෙඩියර්ගේ බෙල්ලෙ වණයක් මොකක් හරි තියෙනව .......... ඒක තමයි මිනිහව ලන්ඩන් ඉඳල කොළඹ යැව්වේ, චර්ම රෝග විශේෂඥයෙක් බලන්න වෙන්නැති...........එතකොට ඔබ තුමා ට ලංකාව එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද?”
“මම මුලින්ම හිටියෙ ලෙනින් එක්ක නෙ”
“වෙනින් කවුරුත් නෙවෙයි ලෙනින් මොරායස්. මං එයාගේ ෆිල්ම් බරගානක සිංදු කිව්වනේ”
“එයා නෙමෙයි .... රුසියානු විප්ලවය මෙහෙයවූ ව්ලදිමීර් ලෙනින්”
“ඒ කියන්නේ ..... ඇන්. ඇම්, කොල්වින් ලෙස්ලි ලගේ .... න්‍යායාචාර්ය සහෝදරයා?”
“ඔව්! ඔව්!!”
“බාහුයි වාසු පක බෑයයි?”
ට්‍රොට්ස්කි ලජ්ජාවෙන් වගේ රතු වෙලා ඇඹරෙමින් ..... ‘පණ වාගේ සිටියට වෙන්වීල ගිය දාට ....’ ආයෙත් සිංදු කියනවා
“අයිසේ ඒ පාර පුජකයෝයි හාමුදුරුවොයි හැමෝම වගේ තමුසෙලත් සිංදු කන්න පටන් ගත්තද?”
“මුස්ලිම් පල්ලි වලත් මහා පාන්දර සිංදු දැම්මනම් ඉවරයි, ස්පීකර් හයි කරලම තියෙන එකේ. ජාතික සමගිය නිකම්ම. බෙග් මාස්ටර් ගෙ සින්දුම දාන්ඩ පුළුවන්.”
මාරු අයිඩියා එක ..... ජෝතිපාලට හිනා.
“අහ! අහ!! ආදරණීය සිනා ඔබේ ......” ට්‍රොට්ස්කි පේමන්ට් එකේ ගැට්ටේ නටනවා!
“ඒක නෙවෙයි මොකද සහෝදරයා ලංකාව ගැන අප්සෙට් වෙලා?”
ට්‍රොට්ස්කි නැටුම නවත්තල ඩිම් එකට දා ගත්ත, “නෑ සහෝදරයා ඔයාලගේ රටේ සහෝදරයෝ ටික මාව විකුණන් කෑව. හතරවෙනි ජාත්‍යන්තරේ බිත්තියට තියල ඇණ ගැහුවා. අද මේ ඔක්කොම අවුලට මුල එයාල කරපු පාවාදීම්. ප්‍රතිපත්ති පාවා දීල, පීඩිත ජනතාව උගසට තියල ආත්ම වාසියට පක්ෂ මාරු කරමින් එක පැත්තකින් ධනේශ්වර යට යි අනිත් පැත්තෙන් උතුරේත් දකුණේත් ගෝත්‍රවාදී දක්ෂිණාංශික බලවේග වලට මුක්කු ගැහුවේ මගේ නම විකුණලා ...... පහුගිය අවුරුදු හැත්තෑවේ සිදුවුණු ලේ වැගිරීම් ඔක්කොටම මූලික හේතුව මේ පාවාදීම්. අද එකෙක් නෑ බේතකට ...... උනුත් අතුගෑවිල මාවත් නැතිකරා!
‘ඔබ ළඟ ඉන්න! ළඟ ඉන්න මගේ වාසනා!! ...... ඔබ නැති න්නිවසක....’
ඒ පාර ජෝතිපාල සින්දුව පටන් අරගත්තා.
පොරවකුත් උස්සගන හතිදාගන දුවගන ආපු කැහැටු පොරක් සින්දුව ඇහිලා එක පාර නැවතුන.
“ආ ජෝති අයියා!” මිනිහා අතේ තිබුණු අත් පොරව පිටිපස්සට කරගෙන කටේ තිබුණු දත් හතරපහ විහිදලා ඔලුව නවල බයාදු හිනාවක් දැම්ම.
“මල්ලි මොකද හදිසියෙ වගේ?”
“නෑ නිකං ජෝති අයිය ....” කියල සුද්ද පැත්තට හැරිලා බැලුව. ට්‍රොට්ස්කි කැහැටු කම්කරු සහෝදරයා දිහා බලලා ඇස් ලොකු කරලා ඔලුවේ අත් දෙක ගහ ගත්තා.
ජෝති අන්දුන් කුන්දුන්
“අසුවේ ජුලි වර්ජකයෙක්. දැක්ක තැන මගේ ඔලුවට පොරවෙන් කොටනව.” ට්‍රොට්ස්කි කොඳුරනවා.
“සමාවෙන්න ජෝති අයිය. අපේ පංතියේ මිනිස්සු වෙනුවෙන් අවංක සේවයක් කරපු අයිය වගේ හැබෑ ජාතික වීරයෙක් ඉස්සරහ හින්ද මං ඉවසනවා...... ඒ වුනාට බලන්න, මං එනකොට ප්‍රභාකරන්ගෙ බංකරේ ළඟ පාටියක්. මිනිහ නැතිකරපු කට්ටියට දැන් තේරිලාලු මිනිහ නැතුව බැරි බව. එල්.ටී.ටී.ඊ. නැතුව ඉලෙක්ෂන් දිනන්න රජ තුමාට බැරි බව කිය කියා ලොකු පොට්ටුවකුත් තියාගන ‘පාට පොදක් තිලකලා නළල් තලාවේ ..’ කැසට් එක දාගෙන ප්‍රභා බංකරේ වහලේ උඩ නටනවා. බංකරේ බිත්තියේ වාසු පක බැයගේ පොටෝ එකකුත් ගහල. එහා පැත්තේ විජේවීර, සෝමවංස ගෙ කරේ නැගගෙන ‘නව පරිවාසේ’ කියල බෝඩ් එකකුත් අල්ලා ගෙන ජිප්සීස් ලගෙ සිංදු කියනවා. අම්පාරේ මුස්ලිම් පල්ලියකට ගහල.” වර්ජක සහෝදරයා කියාගන ගියා.
මේක අහපු ට්‍රොට්ස්කි සහෝදරයා පැනපු ගමන් පොරව උදුරලා අරගෙන තමුන්ගේ ඔලුවටම කොටාගෙන කොටාගෙන ගියා.
පකට පුඟුල උඩ ගිහිං ඇහැ ඇරුනෙ. 1975දි සමගි පෙරමුණෙන් පක්ෂෙ දොට්ට දැම්මට පස්සෙ ට්‍රොට්ස්කි හීනෙන් දැක්කමයි. තුම්මුනින් දාඩිය දානවා. නූල් බඳින සයිස් වැඩේ. දඩස් ගාල ළඟ තිබුණු ධම්ම පදේ අතට ගත්ත. පෙරලපු පිටුවේ තිබුණේ අමුතු ගාථාවක්. මේක රණ විරු වග්ගයෙ
යො සහස්සං සහස්සෙන සංගාමේ මානුසෙ ජිනෙ,
ඒකංච බෙල්ල කස්සානනං සවේ සංගාමජුත්තමො
මහා සංග්‍රාම යන් හි සටන් කර මිනිසුන් දහස් ගණන් අභිභවා ලබන ජයට වඩා
(පඟර නැට්ටන් අතලොස්සක් ඉදිරියේ) එක බෙල්ලක් කැසූ තැනැත්තේ සියලු සංග්‍රාම ජයගත් සැබෑ ජාතික වීරයා වන්නේය.
දැන් සතියක් තිස්සෙ පකට පුඟුලට වමනෙයි බඩයි දෙකම ....
0 comments :
Post a Comment