චන්දෙ දවසෙ රෑ…

චන්දෙ දවසෙ රෑ…
ඉන් පස්සෙ මම විවිධ පක්ෂ වලට භාවිතා කළ ඡන්ද වලින් දිනපු ඡන්ද තියනම් ඒ එකම එක වරයි. ඒ කොහොම වුනත් කවුරු දිනුවත් ඡන්ද ප්‍රතිඵල අහන්න ඒ කාලේ තිබ්බෙ පුදුම උනන්දුවක්. උනන්දුවකට වඩා ඒක හිත ප්‍රබෝධමත් කරන මොකක් දෝ දෙයක්. ඉස්සර ඔය පත්තර වලින් දෙනවා ශ්‍රී ලංකාවේම මැතිවරණ කොට්ඨාශ එක්ක පුරවන්න හිස් තැන් තියපු කොළ.
 
අපි කරන්නෙ ඒ පත්තර කොළත් ලේස්ති කරන් පෑන් පැන්සල් ළඟට අරන් ඡන්ද අහන්න පටන් ගන්නෙක. උදේම ඡන්දෙ දාන්න ගිහින් එන ගමන්, ඡන්දෙ අහන වෙලාවට රෑට කන්න විශේෂ මොනව හරි හදන්න කඩෙන් දේවල් අරගෙනම එනවා.ඒ ගෙනත් දන්න කැටයම් ඔක්කම දාලා විශේෂ කෑමක් හදනවා. ඊට අමතරව සුළු කෑම ජාතිත් වරදින්නෙ නැත්තේ, අපි හදන්න යන කෑම හරියයි ද කියල ෂුවර් නැති නිසා.
 
ඉතින් බැදපු රට කජු, පුහුල් දෝසි, තම්බපු කඩල අනම් මනම් එක්ක කහට උණු වතුර බෝතලයකුත් ළඟ තියා ගත්තත් ඡන්ද ප්‍රතිඵල කියන්න පටන් ගන්නත් කලින්ම ඔය කහට බෝතලේ ඉවරෙන නිසා ආයම කීප සැරයක් කහට වක්කරන්න සිද්ධ වෙනවා……
 
ඒ වගේම තමයි අපි නම් ඡන්ද ප්‍රතිඵල අහන්නෙ පුටුවක ලස්සනට වාඩි වෙලා නෙමෙයි. බිම හාන්සි වෙලා. පැදුරු දාගෙන. මොකද කියනවා නම් කොච්චර උනන්දුවෙන් හිටියත්, අරහෙන් මෙහෙන් ඇඳිරි වැටෙද්දි, තරු එක දෙක පායද්දි අර තිබ්බ උනන්දුව ටික ටික හීන වෙලා යනවා. අනික තමා හැම රූපවාහිනී චැනල් එකකම මොකක් හරි සිත්ගත් චිත්‍රපටියක් පෙන්වනවා. අපි වැඩිපුරම කැමති ඔය චිත්‍රපටය බලන්න වුනත් චිත්‍රපට මොකක් ද කියල අමතක වෙන තරමටම දැන්වීම් යන්න පටන් ගන්න නිසා නිදි මත ඇවිත් ඇසි පිය වලට තඩිබාන්නේ ඉරටු ගහල වත් රදව ගන්න බැරි විදිහට………
 
අනික….ඒ කාලේ චැනල් හැට හුටාමාරක් තිබ්බෙ නැති නිසා ඒකෙන් මේකට, මේකෙන් ඒකට මාරු කර කර බලන්නත් දෙයක් තිබ්බෙ නෑ…. අන්තිමට ඉතින් උදේ පාන්දර වෙලා රතිඥ්ඥා දෙක තුනක් පත්තු වෙන සද්දෙට ඇහැරිලා තමා ‘කවුද දින්නෙ, මොකක් ද දින්නේ’ කියල දැන ගන්නේ.පත්තරේ අරන් තමා මනාප කීයද කියල හොයල බලන්නේ……
 
ඒත් දැන් නම්…………… වෙන දෙයක් වෙච්චාවේ කියල සැපට නිදියා ගන්න තමයි ඡන්දෙ දවසෙ රෑටත් හිතෙන්නේ………..
 
අනික ඉස්සර කාලේ වගේ රට පටලවන් ගණිත කර්ම දාන් අපට අමුතුවෙන් විශ්ලේශණය කරන්න දෙයක් ඉතිරි නොකර ම, වක්‍ර නම් වක්‍රද, ස්ථම්භ නම් ස්ථම්භද, රේඛීය නම් රේඛීය ද ප්‍රස්තාර දාලා උගත් බුද්ධිමතුන් කිහිප පොලකුත් ගෙන්වලා රට පැටලෙන විශ්ලේශණ අපි වෙනුවෙන්ම එයාල පෙන්වන නිසා ආය ඉතින් හිත හිත ලත වෙන්න දේකුත් නෑ නේ……….
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment