සිරිකොතේ පුලස්තිගේ දේපළ විනාශ කලාට පරීක්ෂණයක් ඉල්ලයි.


සිරිකොත මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මැදිරියේ හිටපු නිලධාරි සහ ජාතික ඉංජිනේරු තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන් සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි ගේ දේපල අලාභ කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

ඒ, එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක වෙත ලිපියක් යොමු කරමිනි,

එම ලිපිය පහතින්,

2018 පෙබරවාරි 26

කබීර් හෂීම් මහතා, 
මහ ලේකම්, 
එක්සත් ජාතික පක්ෂය.

දුමින්ද දිසානායක මහතා, 
මහ ලේකම්, 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

ප්‍රිය ලේකම්තුමනි, 
සිරිකොත මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මැදිරියේ හිටපු නිලධාරි සහ ජාතික ඉංජිනේරු තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන් සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි ගේ දේපල අලාභ කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව බදුල්ල, අන්දෙණියේ, නො.120, ඔය වැලෑනේ පිහිටි අක්කර 2 ක් පමණ වන වත්තේ සිටුවා ඇති කෙසෙල් පැල 98 ක් හා වසර 5ක් පමණ වයසැති ගම්මිරිස් වගාව සහමුලින්ම කපා විනාශ කොට ඇත. එම සිදුවීම සිදුවී ඇත්තේ 23-02-2018 දිනයි.

මේ පිළිබඳ MOIV 397-210 යටතේ පැමිණිල්ල බදුල්ල පොලීසියට සිදු කර ඇත. 26-02-2019 අද උදෑසන දක්වා කිසිදු විභාගයක් හෝ ස්ථාන පරීක්ෂාවක් සිදුකොට නොමැත.

මෙම දේපල අලාභය සිදු කර ඇත්තේ දේශපාලනික පළිගැනීමක් ලෙසින් බව අපගේ නිරීක්ෂණයයි. ඔබ හොදින් දන්නා පරිදි පුලස්ති වන්නිආරච්චි කලක් සිරිකොත මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවය කළ අතර, බදුල්ලේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අයෙකි.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ලංකාව පුරා එජාප පාක්ෂිකයින් විශාල පිරිසකට පහරදීම්, දේපල අලාභ කිරීම් සිදුවී ඇත. එජාප රජයක් බලයේ සිටිය දී පළාත් පාලන මැතිවරණයකින් පසුව එජාප පාක්ෂිකයින් මෙලෙස පීඩාවට පත්වීම පුදුම සහගතය. නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය පිළිබද දැඩි සංවාදයක් ඇතිවී තිබෙන පරිසරයක මෙවැනි තත්වයක් මතුව තිබීම අප පුදුමයට පත් කොට ඇත.

එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් නොව යහපාලන ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ශ්‍රීලනිප අපේක්ෂකයින් ද, ආධාරකරුවන් ද මෙවැනි පීඩාවන්ට පත්ව ඇති බව අපගේ නිරීක්ෂණය යි. මෙම තත්වය වැලැක්වීම සදහා සිදුව ඇති දේපල අලාභ කිරීම් හා පහරදීම් පිළිබද විධිමත් පරීක්ෂණ පැවැත්වීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන් 
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

පිටපත් 
1. පොලිස්පතිතුමා - ශ්‍රී ලංකා පොලීසිය
2. නියෝජ්‍ය පොලිස්පති - බදුල්ල
3. ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි - බදුල්ල 
4. සභාපති - මැතිවරණ කොමිෂන් සභාව 
5. අධ්‍යක්ෂ ජෙනරාල් - මැතිවරණ කොමිෂන් සභාව

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment